ආයෝජන සඳහා හිතකර රටක් ලෙස ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අධික විදුලි මිල හේතුවක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“බලශක්තිය පිළිබඳ ගැටලුව අපේ රටේ ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. කර්මාන්ත සඳහා භාවිත කරන විදුලි බලයේ මිල වැඩි නිසා ආයෝජන සීමාවී තිබෙනවා. ඒ වගේම තිබෙන කර්මාන්ත පවත්වාගෙන යෑම දුෂ්කරවී තිබෙනවා. ආයෝජන සඳහා හිතකර රටක් ලෙස ශ්‍රී ලංකාව නොසලකා හැරීමට අධික විදුලි මිල හේතුවක් බවට පත්වී තිබෙනවා. මේ වන විට විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභයක් ලබමින් තිබෙනවා. නමුත් අධික විදුලි බිලෙන් පාරිභෝගිකයා සූරාකමින් තිබෙනවා. ජනතාව ලබන ආදායමෙන් විශාල මුදලක් වැය කරන්නට අද වන විට ගෘහස්ථ පාරිභෝගිකයන්ට සිදු වෙලා තිබෙනවා. නමුත් බලයට පත්වී දින කිහිපයක් ඇතුළත සියයට තිහකින් විදුලි බිල අඩු කරනවා කියලා වර්තමාන රජයේ මැති ඇමැතිවරුන් මැතිවරණ වේදිකාවලදී ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව විශ්වාස කරමින් වර්තමාන රජයට, ජනාධිපතිවරයාට ජනතාව බලය දුන්නා. ඒ ජනවරමට ඔච්චම් කරමින් තමයි බරපතළ පීඩනයක් විදුලි පාරිභෝගිකයා මත පටවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙන්නේ.
මේ රටේ බලශක්තිය පිළිබඳව අනුර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබුණා. විදුලි ගාස්තු ක්‍රමය, ඛනිජ තෙල් සහ ගෑස් සඳහා මිල සූත්‍ර තුනක් ඉදිරිපත් කරන බවත්, මේ ක්‍රියාවලිය වඩා සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකට යාවත්කාලීන කරන බවත්, විදුලියට, ඛනිජ තෙල්වලට සහ ගෑස්වලට අලුත් මිල සූත්‍ර තුනක් වහාම ඉදිරිපත් කරන බවත් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. වර්තමාන රජයට මේ වන විට දින සීයක් ගතවී තිබෙනවා. නමුත් තවම විදුලිය සඳහා මිල සූත්‍රයක්, ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්, ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කර නෑ. පොරොන්දු කිසිවක් නොතකමින් පාරිභෝගිකයා සූරාකමින් රජයට බදු අය කරගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස විදුලි මිලෙන්, ගෑස් මිලෙන්, ඉන්ධන මිලෙන් මේ රටේ පුරවැසියාව සූරාකමින් තිබෙනවා. වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ඊටත් වඩා හොඳින් වර්තමාන රජය ගෙනයමින් තිබෙනවා.
විදුලි පාරිභෝගිකයා ශක්තිමත් කරන, ආයෝජකයන් ශක්තිමත් කරන, රටේ ආර්ථිකය ශක්තිමත් කරන පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍ර වෙත යොමු විය යුතුයි. සුළං බලය අපට තිබෙන වටිනා සම්පතක්. උතුරු ප්‍රදේශයේ වාණිජ වශයෙන් ලෝකයේ හොඳම සුළං විදුලි බලය සඳහා අපට විභවයක් තිබෙනවා. මේ සඳහා තරගකාරී මිල ගණන් කැඳවා ආයෝජකයන් රටට ගෙනැවිත් විදුලි උත්පාදනය කළොත් විදුලිය පමණක් නොව රටෙන් එළියට විදුලිය දීමට අපට හැකියාවක් ලැබෙනවා. නමුත් මේ කිසිවක් සිදු වන්නේ නෑ. සුළං බලය, සූර්ය බලය ප්‍රවර්ධනය කරන බවට කයිවාරු ගැසුවට අද වනතුරු ප්රගතිශීලි අලුත් අදහසක් තවම ඉදිරිපත් කරන්න ආණ්ඩුව කටයුතු කර නෑ.”