දිවි සුරකින හදිසි ප්‍රතිකාර සේවාව

එදිනෙදා ජීවිතය ගත කරන විට කොයි මොහොතක හෝ ඇද වැටී හෝ තැළීමකට ලක්ව හෝ කැපුමකට ලක්ව හෝ කිසියම් හෝ හදිසි අනතුරක් පුද්ගලයාට සිදු වීම සාමාන්‍ය ස්වාභාවයකි.

මෙරට හදිසි ප්‍රතිකාර සේවාව කාර්යක්ෂමව හා විධිමත්ව ආරම්භ වූයේ ඉතා මෑතකදීය. 2019 වසරේදී හදිසි සේවා ප්‍රතිකාර සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීම ආරම්භ විය. මීට පෙර මෙරට හදිසි සේවා ප්‍රතිකාර සිදු වූයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේය. මෙරට සුනාමි අවස්ථාවේදී ලෝකයේ රටවල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හදිසි අවස්ථා සඳහා සූදානම් නොමැති බවය. හදිසි අවස්ථා සඳහා සූදානම් නොමැත්තේ ඇයි කියන ගැටලුව මෙහිදී පැන නැඟිණි. මෙරට හදිසි ප්‍රතිකාර සේවාවේ අවශ්‍යතාව දැනීමෙන් පසුව යම් ප්‍රවර්ධනයක් සිදු වීමට ආරම්භ කෙරිණි. හදිසි ප්‍රතිකාර සේවාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය 2015 වසරේදී ගැසට් කෙරිණි. එය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන දැනට රට තුළ විධිමත්ව ක්‍රියාවට නැංවෙමින් පවතියි. සෑම රෝහලකම පාහේ මේ වන විට හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කර තිබේ.

හදිසි ප්‍රතිකාර සේවාව රෝහලට පමණක් සීමා වී නොමැති අතර නි‍ෙවසේ සිටම හදිසි ප්‍රතිකාර සේවාව අවශ්‍ය වේ. හෘදයාබාධ, ආඝාතය, හදිසි අනතුරු, ආසාදන තත්ත්වයන් නිසා සිදු වන සංකූලතා, ශ්වසන අපහසුතා යනාදී ලෙස හදිසි අසනීප වර්ග පහක් පවතියි. හදිසි අනතුරකදී පළමු පැය තුළ ක්‍රියාත්මක වීම ඉතාම වැදගත්ය. එසේ නොවන තත්ත්පරයක් තත්ත්පරයක් පාසා අනතුරට ලක් වූ පුද්ගලයාගේ ජීවිතය අසාධ්‍ය තත්ත්වයට පත් වේ. මෙරට සුවසැරිය සේවා පද්ධතියක් පවතියි. හදිසි අනතුරකට ලක් වූ වහාම එම ප්‍රවාහන සේවාව ඇමතූ විට රෝගියා රෝහලක් වෙත ගෙන යාමට එම සේවාව පියවර ගනියි. හදිසි රෝග තත්ත්වයේ අවදානම දැනගෙන ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

හදිසි ප්‍රතිකාර අංශයේ සේවාව ලබා ගැනීමට රෝගියෙක් යොමු වූ විට රෝගියාට අදාළ මූලික ප්‍රතිකාර ලබාදී තීරණය කරනුයේ රෝගියා තවදුරටත් රෝහල තුළ තබාගෙන ප්‍රතිකාර කරන්නේ ද, නොඑසේ නම් නි‍ෙවසට යවන්නේ ද යන්නය. රෝහල තුළ රෝගින් සංඛ්‍යාව ඉහළ ගොස් ධාරිතාව වැඩි වුවහොත් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක් රෝගියාට ලබාදීම අපහසු වේ. ශ්‍රී ලංකාව තුළ තවමත් සිදු කරනුයේ රෝගියා රෝහලට පැමිණි විට ඇතුළත් කර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම ය. නමුත් දියුණු රටවල රෝගය පරීක්ෂාවට ලක් කර ඉන්පසුව අවශ්‍ය නම් රෝහල්ගත කර ප්‍රතිකාර කටයුතුවලට රෝගියා යොමු කිරීම සිදු වේ.

ආරක්ෂිත ක්‍රමවේද නැතිව ඉහළ ස්ථානවලින් වැටීම, මහාමාර්ග අනතුරු සිදු වීම යනාදිය හදිසි අනතුරු යටතට ගැනේ. මහාමාර්ග හදිසි අනතුරු නිසා වාර්ෂිකව ජීවිත 3000ක් පමණක් අහිමිවීම මෙරටදී සිදු වේ. හදිසි අනතුරු නිසා සිදු වන සංකූලතා නවතා ගත හැකිය. හදිසි අනතුරකදී රෝගියා රෝහල වෙත ඉක්මනින් ගෙන යාම වැදගත්ය. භාරකරුවෙක් නොමැතිව වුවත් රෝහලට රෝගියා භාර ගැනීම සිදු කරයි. එය විශේෂත්වයක් වන අතර එමඟින් අදහස් කරනුයේ රෝගියාගේ ජීවිතයට හානියක් නොවන පරිදි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම ය.

හදිසි අනතුරු වළක්වා ගත හැකි රෝග තත්ත්වයන් ගණයට ගත හැකිය. එසේ වළක්වා ගත නොහැකි හදිසි අනතුරක් සිදු වුවහොත් එමඟින් ඇති වන සංකූලතා වළක්වා ගැනීමට පියවර ගත යුතුය. අනතුරට ලක් වූ පුද්ගලයා රෝහල වෙත ගෙන යන ක්‍රමවේදයද ඉතාම වැදගත් වේ. ඇතැම් අවස්ථාවලදී රෝගියා රෝහලට ගෙන යන ප්‍රවාහන ක්‍රමවේදයේ අහිතකර තත්ත්වයන් නිසා රෝගියාගේ ජීවිතයට හානි සිදු විය හැකිය. එය වළක්වා ගැනීමට නම් හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවකදී රෝගින් ප්‍රවාහනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදිය යුතුය.

පසුගිය වසර පහකදී පමණ හදිසි ප්‍රතිකාර සේවා විශේෂඥ වෛද්‍යවරුන් 53ක් පමණ මෙරට ලියාපදිංචිව සේවාවේ නිරත වූහ. ඉන් සියයට 75කට වැඩි පිරිසක් මේ වන විට රට හැර ගොස් ඇති බවට වාර්තා වේ. හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහා එතරම් ඉල්ලුමක් පිටරටවලින් පවතියි. බෝ නොවන රෝග නිසා හෘදයාබාධවලට ලක්වන පිරිස ඉහළ ගොස් තිබේ. වයස අවුරුදු 17ක් පමණ වන දරුවන් පවා වර්තමානයේ දී හෘදයාබාධයන්ට ලක් වේ. හෘදයාබාධයකට ලක් වූ පුද්ගලයකු රෝහල්ගත වූ විටදී පැයක් තුළ ස්ටෙන්ත් දැමීමක් සිදු කරන්නේ නම් එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරිනි.