ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද අවුරුද්දක්ම බන්ධනාගාර රෝහලේ

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

එම වෛද්‍ය මණ්ඩලයේ තීරණය ලැබීමෙන් පසු දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කරයි.

2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳ වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකුට 2016 සැප්තැම්බර් මස 8 වැනිදා මරණීය දණ්ඩනය නියම කෙරිණි. එයින් පසු විශේෂඥ වෛද්‍යවරුන් 09 කගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට 2021 ජුනි මස 24 දා කටයුතු කෙරිණි. දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව 2024 ජනවාරී 17දා ඔහුට පනවා තිබූ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමටද නියෝග කෙරිණි.

ජනාධිපති සමාව ලබා ගොස් යළිත් ඔහු අධිකරණය මඟින් බන්ධනාගාරගත කිරීමට නියෝග කළ පසුව දුමින්ද සිල්වා මහතාව නැවත යොමු කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥවරයාගේ අධීක්ෂණය සඳහායි. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දිගින් දිගටම රෝහල් අධ්‍යක්ෂවරයා මඟින් රෝහල් බලධාරින්ට දැනුම් දුන්නේ ඔහුව බන්ධනාගාරය වෙත යොමු කරන ලෙසයි. ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයා මඟින් 2024.01.19 දා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ දුමින්ද සිල්වා රඳවා තබන්නේ නම් ඔහුගේ “ටිකට් කපා” ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාරය වෙත එවිය හැකි බවයි.

ඉන් අනතුරුව ඔහුව බන්ධනාගාර රෝහලට යොමු කළ අතර සතියකට වරක් බන්ධනාගාර රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට යොමු කර අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. යම් සිරකරුවකු පිළිබඳ වෛද්‍යවරයකු, විශේෂඥ වෛද්‍යවරයකු ලබාදෙන රෝග විනිශ්චයකට හෝ ප්‍රතිකාර නියමයන් සඳහා බලපෑම් එල්ල කිරීමට හෝ එය පිළිබඳ විවේචන, එරෙහි ප්‍රතිචාර දැක්වීමට බන්ධනාගාර දෙපාර්තමේනතුවේ නිලධාරීන්ට හැකියාවක් නොමැත. මේ අනුව දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලැබුණු 2016 සිට ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබුණු 2021 වසර දක්වා බන්ධනාගාර රෝහලේ රඳවා තිබිණි. ජනාධිපති සමාව ශුන්‍ය වී බන්ධනාගාරගත කිරීමට නියෝග කළ පසුවද යළිත් 2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඒ මහතා බන්ධනාගාර රෝහලේ රඳවා සිටියි.

දුමින්ද සිල්වාට බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස්වරයා නිවේදනයක්ද පසුගියදා නිකුත් කර තිබුණි. මරණීය දණ්ඩනයට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ රඳවා ඇත්තේ වෛද්‍ය නිර්දේශ යටතේ සැකකරුට ප්‍රතිකාර කළ යුතු බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් කළ දැනුම දීම මත යැයි එහි දක්වා තිබේ.

අදාළ සිරකරු බන්ධනාගාරය වෙත භාර දීමේ දී ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා මේ නිර්දේශය ලබා දී ඇති බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරයි. බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන රැඳවූවන් 50කට අධික පිරිසක් සමඟ දුමින්ද සිල්වා නමැති සැකකරුද රඳවා තිබෙන බවත් දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබා දෙන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් කොමසාරිස්වරයා අවධාරණය කරයි.

දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යයන් තුළින් විවේචනාත්මක පුවත් පළවී තිබූ අතර, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් මෙම සිරකරුහට ලබා දීමක් සිදු වී නොමැති බවත් හෙතෙම කියා සිටියි.

මේ පිළිබදව කරුණු සොයා බැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කළ අතර ස්ථාන පරීක්ෂාවන් හා මූලික විමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිළියක් හෝ විශේෂ පහසුකමක් ලබා දී නොමැති බව අනාවරණය වූ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.