ශ්‍රී ලංකා පිලෙන් නව වසරට ජයග්‍රාහී ආරම්භයක්-කුසල් ජනිත්‌ෙගන් වාර්තා පිට වාර්තා

වාර්තා රැසක් බිහි කරමින් වසර 14කට පසු විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් 2025 නව වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.

නවසීලන්තය හමුවේ 3-0ක පූර්ණ පරාජයකින් ගැලවීමේ අරමුණින් ඊයේ නෙල්සන්හිදී පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විස්සයි20 තරගය ජය ගත්තේ ලකුණු 7කිනි. කෙසේ වෙතත් දෙපිල අතර මුල් තරග දෙක ජය ගැනීම හේතුවෙන් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.

මින් පෙර ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියක් 3-0ක් ලෙස පරාජය වී නොතිබූ බැවින් මේ ජය සමඟ එම වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විණි.

නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 211ක් පමණි.

මේ තරගයේදී වාර්තා වූ කුසල් ජනිත්ගේ මංගල විස්සයි20 ශතකය වාර්තා පොතට එක් වූයේ ශ්‍රී ලංකාවේ තෙවැනි විස්සයි20 ශතකය ලෙසයි. එමෙන්ම විස්සයි20 පිටියේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ශතකයක් වාර්තා කළේ වසර 14කට පසුව වීම විශේෂත්වයක් වන අතර, පන්දු 44කින් වාර්තා කළ මේ ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම විස්සයි20 ශතකය ද විය.

මින් පෙර තිලකරත්න ඩිල්ෂාන් (104) සහ මහේල ජයවර්ධන (100) ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ශතක වාර්තා කර තිබූ අතර, ඩිල්ෂාන් 2011 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ශතකය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා පිල නවසීලන්තයේ විස්සයි20 තරගයක් ජය ගත්තේ වසර 19ක පසුව වීම කැපී පෙනුණු අතර, අවසන් වරට 2006 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී විස්සයි20 තරගයක් ජය ගෙන තිබිණි.

නවසීලන්ත පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට රචින් රවින්ද්‍ර සහ ටිම් රොබින්සන් සමත් වූයේ පළමු කඩුල්ලට පන්දු 45කින් ලකුණු 81ක් එක් කරමිනි. පන්දු 21කින් ලකුණු 37ක් රැස් කර සිටි රොබින්සන් දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත්වීමත් සමඟ එම සබඳතාව නිමා විය.

අනතුරුව මේ තරගාවලියේ පළමු වරට පන්දුව අතට ගත් නායක චරිත් අසලංක ලකුණු 48ක් තුළ කඩුලු 3ක් බිඳ දමමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළේය. මාර්ක් චැප්මන් (9), ග්ලේන් පිලිප්ස් (6) සමඟ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රචින් (69) අසලංකගේ ගොදුරු බවට පත් විය. රචින් පන්දු 39කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 69කි.

ඩැරිල් මිචෙල් ලකුණු 35ක්, සකාරි ෆෝක්ස් පන්දු 13කින් නොදැවී ලකුණු 21ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ගියත් එය අසාර්ථක විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා තෙවැනි කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු (17) සමඟ ලකුණු 41ක් එක් කළ අතර, මුළු ලකුණු 83දී අවිශ්ක දැවී යෑමෙන් පසු කුසල් ජනිත්ට එක් වූ නායක චරිත් අසලංක දැවැන්ත ලකුණු පුවරුවක් කරා ඉනිම රැගෙන ගියේ පන්දු 45කින් ලකුණු 100 සබඳතාවක් ගොඩනඟමිනි. මුළු ලකුණු 183දී අසලංක දැවී යන විට පන්දු 24කින් ලකුණු 46ක් රැස් කර තිබුණේ හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟිනි.

ඒ වන විට පන්දු 38කින් ලකුණු 79ක් රැස් කර සිටි කුසල් ජනිත්, මැට් හෙන්රි යොමු කළ 18 වැනි ඕවරයේදි හයේ පහර 3ක් සමඟ ලකුණු 22ක් රැස් කරමින් සිය මංගල විස්සයි20 ශතකය වාර්තා කළේය.

පන්දු 46කදී නිමාවූ කුසල් ජනිත්ගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. ඔහු ඊයේ ලකුණු 45ක් රැස් කිරීමත් සමඟ විස්සයි20 ලකුණු 2000 පසු කළ අතර, එම සීමාවට පිවිසි පළමු ශ්‍රී ලාංකික පිතිකරු ලෙස ඔහු වාර්තා පොතට එක් විය. ඔහුට පසුපසින් කුසල් මෙන්ඩිස් සිටින්නේ ලකුණු 1920ක් රැස් කරමිනි.

කුසල් ජනිත් මේ වන විට 16 වරක් ලකුණු 50 සීමාව අබිබවා ගොස් ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අවස්ථා ගණනකදී එවැනි දස්කමක් කළ පිතිකරු බවට කුසල් ජනිත් පත් විය. මින් පෙර කුසල් මෙන්ඩිස් අවස්ථා 15කදී ලකුණු 50 සීමාව පසු කර තිබිණි.

ශ්‍රී ලංකාව – 218/5 (ඕවර 20) කුසල් ජනිත් 101, චරිත් අසලංක 46, කුසල් මෙන්ඩිස් 22, පැතුම් නිස්සංක 14 (ජකොබ් ඩෆී 30/1, මිචෙල් සැන්ට්නර් 36/1, මැට් හෙන්රි 47/1, සකාරි ෆෝක්ස් 52/1)

නවසීලන්තය – 211/7 (ඕවර 20) රචින් රවින්ද්‍ර 69, ටිම් රොබින්සන් 37, ඩැරිල් මිචෙල් 35, සකාරි ෆෝක්ස් නොදැවී 21, මිචෙල් සැන්ට්නර් නොදැවී 14 (චරිත් අසලංක 50/3, වනිඳු හසරංග 38/2, නුවන් තුෂාර 33/1, බිනුර ප්‍රනාන්දු 43/1)