වසා දැමූ කර්මාන්ත යළි අරඹා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා-නව වසරේ අමාත්‍යාංශයේ වැඩ අරඹමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ කරමින් මේ වසර ජාතික ඵලදායීතා වර්ෂය හැටියට නම් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) නව වසර වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“ජනාධිපතිවරයා හරවත් සහ වැදගත් විදිහට මේ දවස ආරම්භ කරන්න අපට හොඳ ධෛර්යයක් දුන්නා. අපට ඉලක්කයක් අවශ්‍යයි. අපට හොඳ ගමනක් යන්න තියෙනවා. මේ රටේ ජනතාව අපට දී තියෙන ජනවරම අනුව ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්න පුළුවන් විදිහට, ජනතාව බලාපොරොත්තු වෙන විදිහට කටයුතු කිරීමට අද ඉඳලා කැප වෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ නව රජය ආරම්භ කරන පළමුවෙනි ප්‍රධාන කටයුත්තක්. එහි ඉලක්කයකට අපි මූලික වශයෙන් වග කියන අමාත්‍යාංශයක්. ඒක තමයි ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමට සමාජ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට දීම. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. කර්මාන්ත බිඳ වැටීම මේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන පැත්තක්. රටේ ආර්ථිකය පණගන්වන කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳ වැටී තියෙනවා.

ණය ගෙවා ගන්න බැරිව ව්‍යාපාර අත්හැර දැමූ විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ අවුරුද්ද ආරම්භ කරන්න අලුත් බලාපොරොත්තුවක් දෙන්න ඕනෙ. වසා දමා තිබෙන කර්මාන්ත යළි විවෘත කරන්න බලාපොරොත්තු වන ගමේ තරුණයාට රට දාලා යන්නේ නැතිව මේ රටේ රැඳෙන්න බලාපොරොත්තුවක් දෙන්න අපේ අමාත්‍යාංශයට පුළුවන්. මහජන දිනයට එන මිනිසුන්ගේ ඉල්ලීම් මොනවාද කියලා ඔබ දන්නවා. වැටුණු තැනින් නැඟිටින්න ඔවුන් අපෙන් බලාපොරොත්තුවක් ඉල්ලනවා. සමහර ආබාධිත අය එනවා. ඔවුන්ගේ හිතේ තියෙන හැඟීම හරි විශාලයි. ඔවුන් අපෙන් ඉල්ලන්නේ නැඟිටින්න අවස්ථාව දෙන්න කියලයි, මේ රටේ ණය නැතුව ජීවත් වෙන්න අවස්ථාව දෙන්න කියලයි. අන්න ඒ හැම දෙනාටම ඒ අවස්ථාව හදා දෙන්න පුළුවන් ශක්තිය සහ බලය අපේ අතේ තියෙනවා. ඔවුන්ට උදවු කිරීමේ හැකියාව අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනවලට තියෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් ග්‍රාමීය දුප්පත් බව තුරන් කිරීමේ වැඩපිළිවෙළට විශාලතම දායකත්වය සපයන්න පුළුවන් ආයතනයක් වන්නේ අපේ අමාත්‍යාංශයයි. වගවීම්වලට වගකීම සඳහා අපි වගකීම් බෙදාගෙන තියෙනවා විතරයි. අපට සාමූහිකව වැඩ කරන්න සෑහෙන වෙලාව තියෙනවා. වෙලාව ඉතුරු කරමු. වෙලාවට වැඩ කරමු. වටිනාකම තේරුම් ගනිමු. මේක ආකල්පමය ලොකු වෙනසක් සඳහා යන වර්ෂයක්. රටේ හුදු මහත් ජනතාවගේ ආකල්පවල දැවැන්ත වෙනසක්, පරිවර්තනයක් අපි බලාපොරොත්තු වෙනවා.”