රටේ වෙනස ඇති කරන්න ආණ්ඩුවට විතරක් බෑ-මිනිස්සුත් වෙනස් විය යුතුයි – 2025 වසරේ වැඩ ඇරැඹීමේ උත්සවයේදී සිරිල් ගාමිණී පියතුමා පවසයි

ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වුවද ලේක්හවුස් ආයතනය ආණ්ඩුවේ හොරණෑවක් නොවී සෑමවිටම ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ. සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2025 නව වසරේ වැඩ ආරම්භ කිරීමට සමගාමීව පැවැති ආගමික වතාවත්වලට ඊයේ (02) එක්වෙමිනි.

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර හිමි මෙහිදී අනුශාසනාවක් සිදු කළ අතර එක්සත් ශ්‍රී ලංකා ජෙයි ප්‍රත්‍යගිරා කුරු පීඨයේ ලේකම් කුරුකල් ශිව ශ්‍රී සුදාගර් ශර්මා, සර්ව ආගමික සමුළුවේ සාමාජික සමස්ත ලංකා ජෙමියතූල් උලමා සභාව නියෝජනය කරන මවුලවී එම්.එස්.එම්. තාසිම් මවුලවී යන සර්ව ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා ද මෙම අවස්ථාවට එක් වූහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා මෙසේද කීය.

ලේක්හවුස් ආයතනය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක්. මුද්‍රිත මාධ්‍ය පැත්තෙන් පැරැණිතම වගේම වගකිවයුතු මාධ්‍ය ආයතනයක්. පළමුවැනි දේ මාධ්‍ය මේ වෙලාවේ මාධ්‍යයේ තියෙන කාර්යභාරය හරියට වටහාගෙන කටයුතු කිරීමයි. මාධ්‍ය කියන්නේ ජනතාවගේ මතය හදන, මතය එළිදක්වන වේදිකාවක් බවට පත්වන දෙයක්. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා පක්ෂ භේදයකින් තොරව ආගම් ජාති භේදයකින් තොරව මේ රට යහපත් පැත්තට වෙනස් වෙන්න ඕනේ කියලා.

ඒ වෙනස ඇති කරගන්න නම් මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කරන්න තියෙනවා. එය ඉටු කළ යුත්තේ පක්‍ෂ පාට භේදයකින් තොරවයි. ලේක්හවුස් රජයේ ආයතනයක් කියලා කිව්වට ඒ ආයතනය රජයේ නම් ඒක අයිති වෙන්නේ මහජනතාවටයි. ඒ නිසා මේ ආයතනයට විශේෂ කාර්ය භාරයක් තියෙනවා. පවතින ආණ්ඩුව හෝ පක්ෂය වෙනුවෙන් කටයුතු කරන එක නෙවෙයි. රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ රටේ යහපත සඳහා තමයි මුද්‍රිත මාධ්‍ය ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවිය යුත්තේ. ඒක කරන්න නම් ලේක්හවුස් ආයතනයේ සිටින අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් කාර්ය මණ්ඩලය හැම කෙනෙක්ම පෞද්ගලිකව වෙනස් වෙන්න අවශ්‍යයි.

අපි බලාපොරොත්තු වෙන රටේ වෙනස ඇති කරන්න නම් ආණ්ඩු වෙනසෙන් විතරක් ඒක කරන්න බැහැ. මිනිස්සු හිතන පතන විදිහ මිනිස්සුන්ගේ ආකල්ප මිනිසුන්ගේ වටිනාකම් ඒ දේවල්වල සාධනීය වෙනසක් ඇතිවිය යුතුයි. ඒ වෙනස්කම් ඇති කරන්න නම් එකිනෙකා පෞද්ගලිකව තමන් ගැන හිතනවට වඩා අනිත් කෙනා ගැන රට ගැන සිතන එක අත්‍යවශ්‍යයි. දේශපාලන පක්ෂයක් ගැන ආණ්ඩුව ගැන හිතන එක නෙවෙයි රට ගැන දේශය ගැන හිතන එක මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. පෞද්ගලිකව අපි එකිනෙකා වටිනාකම්වල සහ ආකල්පවල වෙනසක් ඇති කරගත යුතුයි. මුලින්ම වෙනස් වෙන්න ඕනෙ පෞද්ගලිකව තම තමන්. ඒ වෙනස්කම පරාර්ථකාමී වෙනස්කමක් බවට පත්වෙන්නට ඕනේ. ආයතනයේ සිටින අය මුලින් වෙනස් වුණොත් හොඳ පැත්තට ඒ තුළින් ආයතනයෙන් පිටවෙන මාධ්‍යයේ පරමාර්ථයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. පරමාර්ථය වෙන්න ඕනේ ඒ වෙනස ඇති කිරීමයි. ඒ සඳහා ජනතාවගේ මනස ජනතාවගේ ආකල්ප ඒ අයගේ සිතුම් පැතුම් හදන එක හරි පැත්තට. ඒ වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන එක අවශ්‍යයි. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් කියලා කිව්වට එය ආණ්ඩුවේ හොරණෑවක් විය යුතු නැහැ. ඒ මතය විතරක් ගෙනයනවා වෙනුවට ජනතාවගේ මතය විරුද්ධ මත එළිදැක්විය යුතුයි. අඩුපාඩුකම් විවේචන සාධනීය නම් ඒවාට වේදිකාවක් ඇති කිරීම අවශ්‍යයි. මේ අලුත් අවුරුද්දේ ඒ අධිෂ්ඨානය ලේක්හවුස් එකේ හැම කෙනෙක් තුළම ඇතිවෙන්නට ඕන යැයිද කීහ.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වරුෂමාන මහතා ද මෙහි දී අදහස් දැක්වූ අතර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියගල, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස් යන මහත්වරු ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.