මහින්දට ආරක්ෂාව ඉල්ලා නඩු දානවා-මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා තීරණය සතියක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මනෝජ් ගමගේ මහතා මෙසේ ද පැවසීය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මූල්‍යමය කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීමෙන් ආණ්ඩුව වැළකී සිටිය යුතුයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක විධිවිධාන සංශෝධනය කරනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඉවත් කරමින්. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා තීරණ සතියක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්‍ෂාව කියන්නේ දෙකක්. වාහන, විශ්‍රාම වැටුප වැනි වරප්‍රසාද අඩු කළාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නොවෙයි. එය කෙනකුගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. ඇතැම් රටවල් ඇතැම් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා බිලියන ගණන් හා ට්‍රිලියන ගණන් වියදම් කරනවා.

ආරක්ෂක තීරණ සෑමවිටම පදනම් විය යුත්තේ තර්ජන මට්ටම් මත මිස මූල්‍යමය කරුණු සලකා බැලීම් මත නොවෙයි. ඊට අදාළ නීතිමය කටයුතු ආරම්භ කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අනතුරේ පවතින බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. හිටපු ජනාධිපතිවරුන් ආරක්‍ෂාව ප්‍රතික්ෂේප කළත් ඔවුන්ට ආරක්‍ෂාව ලබාදීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා.

රාජපක්ෂ මහතා සිවිල් යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ඇසක් අහිමි වුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් යුද්ධයේ දී තීන්දු තීරණ ගත් නායකයකු ලෙස ඔහුගේ භූමිකාව ගැන තර්ක කළ හැකියි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විශ්‍රාම යනවිට ඔහුටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබිය යුතුයි.

සංවිධානාත්මක අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට පවා රිමාන්ඩ් භාරයේ සිටින විට ආරක්ෂාව ලබාදෙන බව අපි කවුරුත් දන්නවා. එසේ නම්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද. අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබිය දී එම වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත් කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙනවා.