මහින්දගේ ආරක්ෂාවට 30ක් ඇති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් 30 දෙනකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය.

කැලණිය නුංගම්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත් මරණ තර්ජනයක් තිබුණේ නැහැ. 2005 වසරේ පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් මහත්තයා හම්බ වෙලා මේ රටට සාමය ගේන්න සාම සාකච්ඡා කරනවා. යුද්ධය මම අනුමත කරන්නෙ නෑ. යුද්ධයෙන් පිළිතුරු සොයන්න බෑ කියලයි. මහින්ද චින්තනයේ තිබුණෙත් එහෙමයි. මහින්ද රාජපක්ෂ කියන්නෙ එල්.ටී.ටී.ඊ. හිතවාදී නායකයකු මිස ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වුණු නායකයකු නොවෙයි.

2005 වසරේ ඡන්ද වෙලාවේ මරාගෙන මැරෙන බෝට්ටු ගන්න එල්.ටී.ටී.ඊ.යට ඩොලර් මිලියන දෙකක් දුන්නෙ මහින්දගෙ රජයෙන් යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

කවදාවත් එල්.ටී.ටී.ඊ.ය ඩ්‍රෝන තාක්ෂණය තියා වෙන කිසිම විදිහකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නෙ නම් නැහැ යැයි ද පැවසුවේය.