පැරිස් ඔලිම්පික් පදක්කම් මාස 4කදී මලකඩ කාලා

ලොව විශාලතම තරගාවලිය වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමූ පදක්කම් මාස හතරක් ඇතුළත ‘මලකඩ කන බව පවසා’ ලොව පුරා විවේචන එල්ල වෙමින් පවතියි.

කිසි‍වෙකුත් අපේක්ෂා නොකළ පරිදි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා පදක්කම් දුර්වර්ණ වෙමින් පැවතීම මෙයට හේතුවවී තිබේ. මෙහි පළමු වි‍වේචනය එල්ල කොට ඇත්තේ ප්‍රංශ‍යේම පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනකු වන යොහාන් ඩෝයි හා ක්ලෙමන්ට් සීචි වීම විශේෂත්වයකි. ඔවුන් පවසන්නේ දින 10ක් ඇතුළත පදක්කම දුර්වර්ණ වීමට පටන් ගත් බවය.

“දුන්න දවසේ පදක්කම හොඳ පෙනුමක් තිබුණා. නමුත් දින කිහිපයකට පසු ඒවා නරක් වෙමින් යනවා. ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුයි”

ඔලිම්පික් ක්‍රීඩා පදක්කම් ජයග්‍රාහකයන් එය ජීවිත කාලය පුරාවටම අගය කළද, පසුගිය අගෝස්තුවේ පැරිසියේ අවසන් වූ ඔලිම්පික් උලෙළේ පදක්කම්වල පින්තූර ගෙන ‘මේක කිඹුල් හමෙන් හදලා තියෙනවා වගේ’ යැයි උසුළු විසුළු කරන තත්ත්වයකට පත්ව තිබේ.

1924දී පැවති පැරිස් ඔලිම්පික් උලෙළේ පදක්කම හා 2024 වසරේ පදක්කම සසඳමින් ලොව පුරා විවේචන කුණාටුවක් ඇතිව තිබේ. එක්සත් ජනපද ස්කේට්බෝඩ් ක්‍රීඩිකාවක් වන නියා හස්ටන්, කඩු හරඹ ක්‍රීඩක නික් ඉට්කින් සහ රග්බි ක්‍රීඩිකා ඉලෝනා මහර්ගේ මෙම ඡායාරූප හුවමාරු කළහ. බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩිකා යස්මින් හාපර් ද සතියක් ඇතුළත ඇගේ පදක්කම තරමක් දුර්වර්ණ වූ බව වාර්තා කළාය.

පැරිස් උලෙළේ සෑම පදක්කමක්ම අයිෆල් කුලුනේ පැරණි යකඩ කොටස් භාවිත කරමින් සාදන ලද අතර, රිදීවලින් සැදූ පදක්කමට රන් ආලේප කර රන් පදක්කම් සාදා ඇත. පදක්කම්වල ගුණාත්මකභාවය විවේචනය වූ පසු, සංවිධායකයන් පොරොන්දු වූයේ හානියට පත් පදක්කම් ප්‍රතිස්ථාපනය කර දෙන බවයි.