ගම්පහ රාජ්‍ය ආයතන රැසක දුරකතන ගොළු වෙලා

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතනවල පොදු දුරකතනවලට ඇමතුම් ලබා දීමේදී ප්‍රතිචාර දැක්වීම නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වයක් පවතින බවට ජනතාව චෝදනා නගති.

රාජ්‍ය ආයතන බොහොමයක පොදු දුරකතනවලට ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස වෙනම කාර්ය මණ්ඩල පවා යොදවා ඇතත් විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් පිටස්තර පුද්ගලයන් විසින් ලබා ගන්නා දුරකතන ඇමතුම්වලට සම්බන්ධවීමට දිගු වේලාවක් ගැනීමට මෙන්ම දෙවරක් පමණ ඇමතුමක් ලබා දීම සිදු කළ පසුව ඊට ප්‍රතිචාර දක්වන තත්ත්වයක් පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිහිප දෙනෙක්ම පවසා සිටියහ.

පවතින මෙම මන්දෝත්සාහී බව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයකු සඳහන් කර සිටියේ, හිටපු ජනාධිපතිවරයකුගේ සමයේ රාජ්‍ය ආයතනවල දුරකතන තෙවරක් නාදවීමට පෙර ඊට ආමන්ත්‍රණය කළ යුතුව තිබූ බවත් එය නිසියාකාරයෙන් සිදුවන්නේ ද යන්න සොයා බැලීම පිණිස එම ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතනවල පොදු දුරකතනවලට ඇමතුම් ලබාදී සොයා බැලීමක් ද සිදු කළ බවත්ය.

වර්තමානයේ පවතින මෙම අයහපත් තත්ත්වය රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ යටතේ හෝ නිවැරදි කරලීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතුව ඇති බව ජනතා මතයවී තිබේ.