සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා (5) වෙලින්ටන්හිදී ආරම්භ වේ. මේ තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතය.
මේ දෙපිල එක්දින තරග 105කදී එකිනෙකා හමුව ඇති අතර, ඉන් තරග 52ක් නවසීලන්තයත්, තරග 43ක් ශ්‍රී ලංකාවත් ජයගෙන ඇත.
ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයේදී එක්දින තරගයක් ජයගෙන ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදාය. එමෙන්ම නවසීලන්තයේදී එක්දින තරගාවලියක් ජයගෙන ඇති පළමු සහ එකම අවස්ථාව 2000 වසරේදී වාර්තා විය. එවර තරග 5කින් සමන්විත තරගාවලිය 4-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.
නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියට එක් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, වේග පන්දු යවන ළහිරු කුමාර, මැද පෙළ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු සමඟ තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නැති වේග පන්දු යවන නවක ක්‍රීඩක 23 හැවිරිදි ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වෙති.
ඊට අමතරව ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක සහ මොහාමඩ් ශාරාස් ද එක්දින කණ්ඩායමට එක්වන අතර, මේ ක්‍රීඩකයන් 7 දෙනාගේ එක්වීමත් සමඟ ඊයේ වාර්තාගත ශතකයක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා සමඟ විස්සයි20 සංචිතයේ සිටි දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දුගේ නවසීලන්ත තරග සංචාරය නිමාවට පත්වෙයි.
දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය 8 වැනිදා හැමිල්ටන්හිදී සහ තෙවැනි තරගය 11 වැනිදා ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස්, ඒෂාන් මාලිංග.