උසස් පෙළ දරුවන් පාසලෙන් ඈත් වීමට හේතු සෙවිය යුතුයි-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මඟහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් සිටිනවා. කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මඟහැරීමට ඉඩ නොදිය යුතුයි. පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුටම විවරව තිබිය යුතුයි. පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්.

ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වග කියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක්ම අපි සලකන්නේ රටේ ඉදිරි ආයෝජනයක් ලෙසයි. දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.