ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අවසන් සටනට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (02) නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් පිටියේදී පැවැත්වේ.

මේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 5.45ට ආරම්භ වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා පිලට අද තරග බිමට පිවිසීමට සිදුව ඇත්තේ නවසීලන්තය හමුවේ 3-0ක පූර්ණ පරාජයකින් වැළකීම සඳහාය. මේ වන විට තරග 3කින් සමන්විත තරගාවලියේ මුල් තරග 2 ජය ගනිමින් නවසීලන්තය තරගාවලි ජය තහවුරු කර ගෙන ඇති අතර, අවසන් තරගය ජය ගනිමින් පූර්ණ පරාජයකින් වැළකීමේ ගෞරවය රැක ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.

නවසීලන්තය හමුවේ මෙතෙක් ශ්‍රී ලංකා පිල තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියක් 3-0ක් ලෙස පරාජය වී නැති හෙයින් එම වාර්තාව රැක ගැනීමේ අභියෝගය චරිත් අසලංක ප්‍රමුඛ පිරිවර ඉදිරියේ තිබේ.

මින් පෙර නවසීලන්තයේ සත්කාරකත්වයෙන් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලි දෙකක් පවත්වා ඇති අතර, එම තරගාවලි ද්විත්වයම සත්කාරකයන් ජය ගෙන ඇත්තේ 2-1ක් ලෙසිනි.

කෙසේ වෙතත් තරගාවලිය සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අනිවාර්යය වී තිබේ.

විස්සයි20 තරගාවලියේ මේ වන විට ලකුණු අතරට පිවිස ඇත්තේ පැතුම් නිශ්ශංක සමඟ කුසල් යුගලය (මෙන්ඩිස් සහ ජනිත්) පමණි. පැතුම් තරග දෙකකදී අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 127ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව තිබේ.

නවසීලන්ත පන්දු යවන්නන් සැලසුම්සහගතව තරගයට එක් වන අතර, ඔවුන් තරග ද්විත්වයේදීම සාර්ථක වූහ. පළමු තරගයේදී ලකුණු 38ක් තුළ කඩුලු 8ක් දැවී යෑමෙන් ජය අහිමි වූ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී මැද පෙළ කඩුලු ඉක්මනින් දැවී නොයෑමේ සැලසුමකින් පිටියට පිවිසියද එවර අවසන් කඩුලු 7 බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් ලබා දුන්නේ ලකුණු 14ක් පමණි.

විශේෂයෙන් තරග ද්විත්වයේදීම ශ්‍රී ලංකා මැද පෙළ බිඳ දැමූ ජේකොබ් ඩෆී වැළැක්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සැලසුමක් සහිතව අද පිටියට පිවිසිය යුතුය.

දෙවැනි තරගයෙන් අනතුරුව කුසල් ජනිත් පැවසුවේ පිතිකරුවන් සැලසුම් සහිතව පිටියට පිවිසියත් ඉක්මනින් කඩුලු කිහිපයක් බිඳ වැටීම තරගයේ පරාජයට හේතු වූ බවයි.

ඉනිම අග භාගයේ නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සැලසුමකින් පිටියට පිවිසිය යුතුව ඇත. එය තරගයේ විසඳුම කෙරෙහි තීරණාත්මක සාධකයන් වී තිබේ. පළමු තරගයේ අවසන් ඕවර 4න් ලකුණු 39ක් උදුරාගත් නවසීලන්ත පිතිකරුවෝ දෙවැනි තරගයේ අවසන් ඕවර 4න් ලකුණු 53ක් ලබා ගත්හ.

අද තරගය පැවැත්වෙන සැක්ස්ටන් ඕවල් පිටියේදී විස්සයි20 තරගයක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය. විස්සයි20 තරග දෙකක් පමණක් පවත්වා ඇති මේ පිටියේ අවසන් විස්සයි20 තරගය 2019 වසරේ නොවැම්බර් 5 වැනිදා නවසීලන්තය සහ එංගලන්තය අතර පවත්වා තිබේ.

පිතිකරුවන්ට වඩා හිතකර මේ තණතිල්ලේදී පැවති තරග ද්විත්වයෙන් ඉනිම 3කදී ලකුණු 150 පසු කර ඇති අතර, ජය වාර්තා කර ඇත්තේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමයි.