රථවාහන පැමිණිලි ක්ෂණිකව දැනුම් දෙන e-Traffic ජංගම දුරකතන යෙදවුම එළිදක්වයි

Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic ජංගම දුරකතන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දී තිබිණි.

ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකතන යෙදවුම ඔබගේ ජංගම දුරකතනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති අතර එමඟින් ජනතාවගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානයට යොමු කළ හැකිය.

දිවයිනේ සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අතර දෛනිකව සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකතන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.

මෙම යෙදවුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකිය.

එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියැදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.

එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබයි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.