පොලිස් ලොකු පුටු හෙලවෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක සහ පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ඇතුළු පොලීසියේ ඉහළ පුටු රැසක් ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

බස්නාහිර, නැඟෙනහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද වෙනස්වීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා බස්නාහිර පළාතට ආසන්න පළාතකට ස්ථාන මාරු වීමක් දීමට නියමිතව ඇතත් උතුරේ සිවිල් ජනතාව ඔහුට වඩාත් කැමැත්තක් දක්වන බැවින් සහ ජනතා ඉල්ලීම මත එම ස්ථාන මාරු වීම ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ කතා බහක් පමණි.

මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලීසියේ යෝජනා වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට මේ වන විටත් නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව අද (02) රැස්වන ජාතික පොලිස් කොමිෂන් සභාව එම යෝජනා සලකා බැලීමට නියමිතව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.