පාලන මිලක් දැමීමෙන් සිදුව ඇත්තේ භාණ්ඩ මිල අඩු වීම නොව ඉහළ යෑමයි-සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

පාලන මිලක් නියම කර භාණ්ඩ මිල අඩු කිරීමට රජය උත්සාහ කළත් සෑම විටම සිදු වෙන්නේ පාලන මිල හරහා භාණ්ඩ මිල අඩු වීම නොව ඉහළ යෑම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පෙරේදා (31) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.

“මෙවැනි ප්‍රශ්නයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ අසාර්ථික පාලන මිල. ආණ්ඩුව සහල්වලට පාලන මිලක් යොදන්න කටයුතු කළා. නමුත් පාලන මිලට සහල් ලංකාවේ කොහේවත් නෑ. සතොස වෙළෙඳසල්වල තිබුණත් සාමාන්‍ය වෙළෙඳපොළේ පාලන මිලට සහල් නෑ. සාමාන්‍ය වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා. රජය පිටරටින් ගෙන්වන සහල් සඳහා අසාධාරණ ලෙස බද්දක් අය කර මිල ඉහළ දමා තිබෙනවා. පාලන මිලක් නියම කර භාණ්ඩ මිල අඩු කරන්න රජය උත්සාහ කළත් සෑම විටම සිදු වෙන්නේ පාලන මිල හරහා භාණ්ඩ මිල අඩු වීම නොවෙයි ඉහළ යෑමයි. පාලන මිල අසාර්ථක වූ තත්ත්වයක තමයි අලුත් අවුරුද්දේ ආණ්ඩුවට ගමන් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. භාණ්ඩවලට නියම කරන පාලන මිල අසාර්ථක වී තිබෙනවා.

සෑම ආණ්ඩුවක්ම බලය ගෙන කළේ වරද කාගේ හෝ පිට පටවන එකයි. දේශපාලනය සිදු කළේ විසඳුම් සමඟ නොවෙයි. ඔවුන් කළේ ප්‍රශ්නය තව කාගේ හෝ මත පැටවීම පමණයි. වර්තමාන ආණ්ඩුවටත් විසඳා ගැනීමට නොහැකි සියලුම ප්‍රශ්න රාජ්‍ය අංශය මත පටවා තිබෙනවා. මුදල් ගොවියන්ට නිසි ලෙස බෙදා ගැනීමට නොහැකි වී තිබෙන්නේ රාජ්‍ය අංශයේ අක්‍රමිකතා නිසා බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රාජ්‍ය අංශයේ අක්‍රමිකතා තිබුණත් නිවැරදි ආකාරයට මුදල් අවශ්‍ය ස්ථානවලට ලැබුණොත් පැය 48ක් ඇතුළත ගොවියන්ට අවශ්‍ය මුදල් දෙන්න රාජ්‍ය අංශයට හැකියාව තිබෙනවා. රාජ්‍ය අංශයට යම්කිසි කටයුත්තක් පැවරූ පසු එය නිසි ලෙස ඉටු කරනවා. නිසි පරිදි වැඩේ පැවරුවේ නැතිනම් රාජ්‍ය අංශය තුළ අක්‍රමිකතා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ගැටලුව තිබෙන්නේ රාජ්‍ය අංශයේ නොවෙයි. ගැටලුව තිබෙන්නේ අදාළ විෂය භාර ඇමැතිවරයාගේ සහ ආණ්ඩුවේ.”