කාදිනල් හිමිට අපහාස කිරීමේ චෝදනාව: නාමල් කුමාර ජනවාරි 15 දක්වා රිමාන්ඩ්

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස කිරීම, ක්‍රිස්තියානි ආගමිකයන් ප්‍රකෝපකාරි වන අන්දමින් ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ‍කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (01) අත්අඩංගුවට ගත් නාමල් කුමාර නමැති අය ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය ඊයේ (01) නියෝග කළාය. සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සහ දේශපාලන අයිතිවාසිම් පිළිබඳ සම්මුති පනතේ වගන්ති ප්‍රකාරව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිදුවීමට අදාළ හඬ පටය සම්බන්ධයෙන් පසුගිය මාසයේ 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විද්‍යුත් තැපෑල හරහා තම සේවාදායකයා පැමිණිල්ලක් යොමු කළ බවත් ඉන් පැය 72ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් නාමල් කුමාර වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ මඬුල්ල මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියහ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණිල්ලක් ගොනු කළ බව ද නීතිඥ මඬුල්ල අධිකරණයට කියා සිටියහ.

තම සේවාදායකයා කාදිනල් හිමියන්ට කිසිදු අපහාසයක් කර නැති බවත් ඒ අනුව ඔහු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසත් නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ රංගනවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ සමාජ ක්‍රියාකාරි අකිල නුවන් රාජපක්ෂ යන අයවලුන් සිදු කළ හඬ පටයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත් එම හඬ පටය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාළිකාව සමඟ සිදු කළ සංවාදයකින් පසුව ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ගෙන්වා ප්‍රකාශ ලබාගත් බවත් කී පොලීසිය ආගමික කැලඹීමක් සිදු විය හැකි බැවින් සහ ඉන් සමාජ කැලඹීමක් සිදුවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුව නාමල් කුමාර අත්අඩංගුවට ගත් බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළාය.

මේ හඬ පටය සම්බන්ධයෙන් පුවත් විකාශනය වූ බව කියන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අයත් යූටියුබ් නාළිකාවට සහ රූපවාහිනි ආයතන පහකට එම විකාශනයට අදාළ සීඩී පට කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙස අධිකරණ නියෝග නිකුත් කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

එම පුවත විකාශනය කළ පෞද්ගලික රූපවාහිනී නාළිකා පහකට ඊට අදාළ සීඩී තැටි දෙන ලෙස එම ආයතන හිමිකරුවන්ට අධිකරණය නියෝග නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් ප්‍රකාශ ගෙන ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.