අමෙරිකාවේ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපොළකින් හමුවෙයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළකින් පුපුරන ද්‍රව්‍ය කට්ටල 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එෆ්බීඅයි සංවිධානය විසින් එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී බවත්, සිය පවුලේ සාමාජිකයන් සමඟ පදිංචිව සිටින වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළක නිවෙසේ නිෂ්පාදිත පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බවට එහිදී ඔහු ප්‍රකාශයක් සිදු කළ බවත් එෆ්බීඅයි නිලධාරීන් සඳහන් කර ඇතැයි වාර්තා වේ. අදාළ සැකකරු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, ඔහු රාජ්‍යවිරෝධී අන්ත දක්ෂිණාංශික මතධාරියකු බවට හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.