වී අලෙවි මණ්ඩලය සක්‍රිය කරමින් මහකන්නයේ වී අස්වැන්නෙන් සැලකිය යුතු වී තොගයක් මිලදී ගැනීමට කටයුතු යොදන බවත්, එසේ මිලදී ගෙන ගබඩා කෙරෙන වී තොග මඟින් වෙළෙඳපොළ පාලනයට අවශ්‍ය වන වී තොග මුදාහැරීමට බලාපොරොත්තු වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ජපානයේ වී ගොවිතැන් තාක්ෂණය අනුව නාච්චාදූව ගොවි ව්‍යාපාරයේ පිටඇළ යාය ලියදි විශාල කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීමට පසුගියදා (27) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එළවළු සහ පලතුරු අපනයන සැකසූ මධ්‍යස්ථානයේදී පැවති රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“ගොවි ජනතාව අසරණ වී සිටින්නේ රජයන් ගොවි ජනතාව අතහැර තිබූ නිසයි. අස්වැන්න එනවිට රජය ගොවියා අතහැර තිබුණා. අනිවාර්යයෙන්ම කෘෂි කර්මාන්තයේ මිල තීරණය කිරීමේ ක්‍රියාවලියට රජය සම්බන්ධ විය යුතුයි. ගොවියාගේ නිෂ්පාදන පිරිවැයට සාධාරණයක් වන ආකාරයට ලාභයක් ලැබෙන විදියට මිල තීරණය කිරීම ආරම්භ කළ යුතුයි. පසුව ව්‍යාපාරිකයන්ගේ මිල පිළිබඳව තීරණය කළ යුතුයි.
මේ වනවිට වී අලෙවි මණ්ඩලය ඉතා දුර්වල තත්ත්වයක පවතින නිසා එය සක්‍රිය කරමින් මෙවර මාස් කන්නයේදී වී අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගෙන වෙළෙඳපොළට අවශ්‍ය වන පරිදි වී මුදාහැරීම රජයේ බලාපොරොත්තුවයි.
සහල් ගැටලුව මේ වනවිට විසඳීගෙන යනවා. සහල් ආනයනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවුවත් වෙළෙඳපොළ තුළ පවතින අසමතුලිතතාව, සමතුලිත කිරීමට සහල් ආනයනය කිරීමට රජය කිසි විටෙක පැකිළෙන්නේ නෑ. අලුත් අවුරුද්ද සඳහා ජනතාවට කිරිබත් පිසීමට අවශ්‍ය සහල් ස්ථීර වශයෙන්ම රට තුළ පවතිනවා. මෙවර කන්නයේදී වී අලෙවිය සහ වී මිල සම්බන්ධයෙන් වගේම සහල් හිඟයක් හෝ මිල ඉහළ යෑමක් සිදු නොවන බවට විශ්වාසය පවතිනවා. වෙළෙඳපොළ තුළ අසමතුලිතතාව ඇති වන නිසා වී අස්වැන්න ගන්නා තෙක් රජයේ සහතික මිල ප්‍රකාශයට පත්කරන්නේ නෑ. ගොවියා සහ පාරිභෝගිකයා ගැන සිතා මෝල් හිමියා පාලනය කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් වාරිමාර්ග වෙනුවෙන් විශාල ව්‍යාපෘති සහ විශාල මූල්‍ය දායකත්වයක් දී තිබුණත් මෙතෙක් සිදුව ඇත්තේ ගොවියා ගොඩනැඟීම වෙනුවට දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ආර්ථිකය දියුණුවීම පමණයි. වී අලෙවි මණ්ඩලය සතුව රටටම ඇත්තේ එක ලොරියක් පමණයි. රජයේ මුදල් මුදාහැරීම පිළිබඳව ප්‍රශ්නයක් හේතුකොටගෙන නොව යම් යම් වෙනත් හේතු, මූලික කර ගනිමින් සුළු ගොවි පිරිසකට පොහොර සහනාධාරය පමා වී තිබෙනවා. කුමන ගැටලු පැවතියත් ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක්.
වන සතුන්ගෙන් සිදු වන හානි සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ සඳහා කෙටිකාලීන උත්තර වගේම දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහිදී ජන ජීවිත ආරක්ෂා කිරීම වගේම සතුන් ආරක්ෂා කිරීමත් වැදගත්.වන්ධ්‍යාකරණය සහ පලවා හැරීම පිළිබඳව පර්යේෂණ ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතනවල සිදු කරමින් පවතිනවා. ස්වාභාවික ක්‍රමයෙන් බැහැරව කෘෂිකර්මාන්තය තාක්ෂණ යුගයකට ගෙන යා යුතුයි.”