මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙනවා. මේ රටේ වැඩිම තර්ජනයක් තිබෙන රාජ්‍ය නායකයා ඔහුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව නොදී ඔහු නිවාසයට හිර කර තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතරු දෙමිනි. එහිදී ඒ මහතා මෙසේද කීවේය.
අදින් නිම වන 2024 වසර ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර ලෙස ඉතිහාසගත වෙනවා. පක්ෂයක් ලෙස ඉතාමත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීපු වසරක් ලෙස අදින් නිම වන 2024 වසර නම් කළ හැකියි. 2024 වසරටත් වැඩිය 2022 පක්ෂයට ඉතාම අමිහිරි වසරක් වුණා. ජනතාව මුළා කරලා, ජනතාවට බොරු කියලා ලබා ගත් බලයක් මේ තිබෙන්නේ. මේ බලය රැක ගන්න කොයි පුද්ගලයා පැමිණියත් බැහැ. සොබාදහමේ නීතියේ බොරුවට රජ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්කා යහපාලන ආණ්ඩුවටත් මේ දේ වෙනවා. ඒ වගේම මේ දේ ඊටත් කලින් මේ ආණ්ඩුවට වෙන බව දැන් පේන්න තිබෙනවා.
මේ වන තෙක් සතොස හෝ රාජ්‍ය අංශය හාල් ආනයනය කර නැහැ. සියලු සහල් ආනයනය කිරීමේ කටයුතු පෞද්ගලික අංශයට පවරා දී තිබෙනවා. “මේ රටේ යුද්ධය අවසන් කරපු, මේ රටේ මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දීපු, මේ රට නැවතත් එක්සේසත් කළ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් කතා කරන්න වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමේදී එතුමාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස එතුමාගේ ආරක්ෂක ප්‍රධානියා විසින් උපදෙස් දීම මත එතුමාගේ ආරක්ෂක ප්‍රධානියා වහාම ක්‍රියාත්මක කර ඇති පරිදි ඉවත් කර ඇති බවට තොරතුරු ලැබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට උත්සාහ ගන්න, නීතිමය කටයුතු කරමින් ඉන්න නීතිඥ මනෝජ් ගමගේ මහතා පසුගිය දිනක ත්‍රස්ත විමර්ශන අංශය විසින් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබෙනවා. මේක මේ රටේ කවදාවත් සිදුනොවුණු මර්දනයක්. සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක්ව ත්‍රස්ත විමර්ශන අංශයකින් හෝ පොලීසියකින් ප්‍රශ්න කිරීම මීට පෙර කිසිම අවස්ථාවක කර නැහැ.
දිගින් දිගටම ජනතාවගේ බදු මුදල් අඩු කරනවා කියා බොරු කියලා බලය ගත් රජය මේ වන විට බදු මුදල් අඩු කරනවා වෙනුවට මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුගේ බැංකු පොලියට මේ වන විට අය කරමින් තිබුණු 5%ක් වන රඳවා ගැනීමේ බද්ද දෙගුණයක් කර 10%ක් කර තිබෙනවා. ජනතාවට සහන දෙනවා කියා බලය ගත් රජය මේ කරන කාරණය වහාම නතර කරන්න කියා අපි කියනවා. ඒ වගේම පාසල් උපකරණ සඳහා වන බදු මුදල් ඉවත් කරනවා කියා මේ රජය බොරු පොරොන්දුවක් දීලා බලය ගත්තේ. මේ වන විට බොහෝ මවුපියෝ අපහසුතාවට පත්වෙලා සිටිනවා තමන්ගේ දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීමට. වහාම පාසල් පොත් සහ ලිපිද්‍රව්‍යවලට අදාළ බදු මුදල් අඩු කරන්න කියන ඉල්ලීම, නව පාසල් වාරයට පෙර දැන්මම ඒ සහනය මවුපියන්ට දෙන්න කියන ඉල්ලීම රජයෙන් කරන්න කැමැති යැයි පැවැසීය.