දඩයම්කරුවෙකුගෙන් වෙඩිකෑ අවුරුදු පහළොවක වනඅලියෙක් ඇල්ලේ වැව ඉස්මත්තේ

මාදුරුඔය ජාතික වනෝද්‍යානය නිජභූමිය කර‍ෙගන සැරිසැරූ වයස අවුරුදු පහළොවක් පමණ වූ වනඅලියෙකු දඩයම්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මහවැලි බී කලාපයට අයත් ඇල්ලේ වැව ඉස්මත්තේ වැටී සිටින අතර මෙම අලි පැටවාට දින හයක පමණ සිට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායම පියවර ගෙන ඇත.

මෙම අලි පැටවාගේ හිසට එල්ලවී ඇති වෙඩි ප්‍රහාරයක් නිසා මෙලෙස ඇද වැටී ඇති බවත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දෙන බවත් වෛද්‍යවරයා අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේය.

මෙම සත්ත්වයාගේ හිසටම වෙඩි තබා ඇති අතර එම සත්ත්වයාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය උපරිම උත්සාහ දරන බවත් ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරන බවත් වනජීවී නිලධාරීහු සඳහන් කර සිටියහ.