කොතෙක් චෝදනා එල්ල වුවත් රටේ යහපතට කැප වෙනවා-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවය කරන සියලු පිරිස්, රාජ්‍යයේ ගමන් මඟ තීන්දු කරන ප්‍රධානපෙළේ වැදගත්ම පුරවැසියන් සහ නිලධාරීන් බවට පත් විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලීමට සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එහි කාර්ය මණ්ඩලයට අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ගෞරවනීය ශ්‍රී ලාංකේය රාජ්‍යයේ පදනම සැලසුම් කරන මෙහෙවරට, දැක්මට මඟපෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන දේශපාලනඥයාට නිවැරදි මඟපෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතුයි.

මෙරට රාජ්‍යය ගොඩනැඟීමේ පදනම සකස් කිරීමේ වගකීම නව රජයේ ඇමැතිවරුන්ට පැවරී තිබෙනවා. මේ වකවානුවේ එම වගකීම ඉතා නිවැරදිව සහ වගකීමකින් යුතුව ඉටු කිරීමට නව ඇමැති මණ්ඩලය සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් පූර්ණකාලීනව කැපවී ක්‍රියා කරමින් සිටිනවා.

පූර්ණකාලීන කැපවීම තුළ මේ වනවිට නව ඇමැති මණ්ඩලයට විවිධ චෝදනා එල්ල වෙනවා. එම චෝදනා අතර ඇමැතිවරුන් හමුවන්න බෑ, දුරකතනයට එන්නෙ නෑ, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ, සම්මුඛ සාකච්ඡා දෙන්නේ නෑ ආදී දහසකුත් එකක් චෝදනා නැඟෙමින් පවතිනවා. චෝදනා කොතෙක් එල්ල වුවත් සමස්ත ඇමැති මණ්ඩලයම වෙහෙස නොබලා සම්පූර්ණ කාලයම කැපකරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට යහපත් පදනමක් ගොඩනැඟීමේ කර්තව්‍යය නොපිරිහෙලා ඉටු කිරීමට කැපවී කටයුතු කරන බවට මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

එවැනි ආකාරයකින් කැපවීම් සිදු නොකර, නිසි අධ්‍යයනයකින් තොරව දත්ත, තොරතුරු මත පදනම් නොවී ජනාධිපති, අගමැති, ඇමැති වීම හෝ බලයෙන් හිස උදුම්වාගෙන හිතුම‌තේ ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම නිසා පසුගිය කාලයේ ඇති වූ ගැටලු මෙරට ජනතාව ඉතා හොඳින් අත්වින්ඳා. එවැනි තත්ත්වයක් අනාගතයේ යළි ඇති නොවීමට වර්තමාන රජය කටයුතු කරනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනය කොතරම් සැලසුම් සකස් කර දෙස් විදෙස් පුහුණුව, අධ්‍යාපනය දුන්නත්, එම කටයුතු සඳහා විශාල ලෙස මුදල් වියදම් කර තිබුණත්, මෙරට රාජ්‍ය නිලධාරීන් පවා පුරුදුව සිටින්නේ සාම්ප්‍රදායික මතවල සිට සහ දේශපාලනඥයන්ගේ අතකොලු වී ක්‍රියා කිරීමට වීම කනගාටුදායක තත්ත්වයක්.

එලෙස රටකට ඉදිරියට යා නොහැකියි. වසර පහෙන් පහට පත්වන ආණ්ඩු සහ ඇමැතිවරුන්ට තමන්ට හිතූහිතූ අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදී සැලසුමකට අනුගත වෙමින් ඉදිරියට යෑමේ ගමන්මඟ සකස් කිරීමේ වගකීම සහ ඒ සඳහා දැක්ම සකස් කිරීමට තිබෙන සුදුසුම ආයතනය ශ්‍රී ලංකා පදනම් ආයතනයයි.”

මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති එස්. එම්. සමන් සමරකෝන්, අධ්‍යක්ෂ ජනරාල් රිද්මා ගුණසේකර මහත්ම මහත්මීන්, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිස එක්ව සිටියහ.