ජනවාරි පළමු වැනිදා සිට (Clean Sri Lanka) “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යසාධක බළකායක් ද ස්ථාපිත කර තිබේ. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා කාර්ය සාධක බළකායේ සාමාජිකයින් වන අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද මෙම කාර්ය සාධක බළකායට ඇතුළත් වේ. සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බළකායට ආචාර්ය අනුරුද්ධ ගමගේ, ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතා ද ඇතුළත් ය.
සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මඟින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම,ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බළකායට පැවරී තිබේ.
ජනාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ අරමුණ වන අතර හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වෙයි.
හොඳ ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව, භාණ්ඩ ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතියේ ආරක්ෂාව, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා කර්මාන්ත ශාලා ඇති කිරීම ඇතුළු වැඩපිළිවෙළ රැසක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙයි.