රට තුළ ඇති වී තිබෙන සහල් හිඟයට පිළියමක් ලෙස රජය සහල් ආනයනය කිරීමට ගත් තීරණය හොඳ තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පිටකෝට්ටේ සමඟි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29) පැවති මධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:
“මාස කිහිපයක සිට රටේ හාල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. දේශීයව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා තමයි මේ ආකාරයට සහල් හිඟයක් රට තුළ ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව තීන්දු කර තිබෙනවා හාල් ආනයනය කරන්න. එය හොඳ තීරණයක්. පිටරටින් සහල් ගේන්නේ නැතිව රටේ සහල් අවශ්‍යතාව සපුරන්න නොහැකියි. ඒ නිසා තමයි වර්තමාන රජයත් සහල් ගෙන්වන්න කටයුතු කර තිබෙන්නේ. සහල් ආනයනය කරන්න පියවර ගත්තත් තවම සාධාරණ මිලකට සහල් දෙන්න රජයට නොහැකි වී තිබෙනවා.
“ඒ වගේම වෙළෙඳසල්වල සහල් හිඟයක් පවතිනවා. තවත් වෙළෙඳසල්වලින් රජයේ පාලන මිලට සහල් ගන්න නොහැකියි. ඒ නිසා සහල් ප්රශ්නය රට තුළ විශාල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. රටේ හාල් හිඟයක් ඇති වුණේ පළමු වතාවට නොවේ. රටේ සැම ආණ්ඩුවක්ම ආණ්ඩු කරන කාලයේ රට තුළ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැට් බද්ද ඉවත් කළේ ඔහුට හිතවත් ව්‍යාපාරිකයන්ට උදවු කරන්න ඕනැ නිසයි. ඒ හරහා අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය ආදායමත් අඩු කරගත්තා.
“මේ වන විට සහල් මෙට්‍රික් ටොන් හැට හත්දාහක් ලංකාවට ගෙනැවිත් ඇති බව රේගුව ප්‍රකාශ කරනවා. ඒ සහල් මෙට්‍රික් ටොන් හැට හත්දාහෙන් රුපියල් බිලියන හතරයි දශම තුනක් බදු ගහලා තිබෙනවා. ඉදිරියේදී සහල් කිලෝ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදාහක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ සහල් තොගය ආනයනය කිරීමෙන් රජයේ ආදායම කෝටි දාහකින් ඉහළ යනවා.”