ලංකා ඛනිජ වැලි සමාගමේ නව සභාපති අශෝක පීරිස්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියකු වන අශෝක පීරිස් මහතා ලංකා ඛනිජ වැලි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වසර 10ක් පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරා ඇති පීරිස් මහතා මීට පෙර 2015 – 2016 වසරවල ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා ලෙස ද කටයුතු කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියකු වන ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත. ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට සක්‍රිය දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරියකු වන අශෝක පීරිස් මහතා 2005 වසරේදී පැවති මැතිවරණයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල නිසි බලධාරියා ලෙස ද කටයුතු කර තිබේ. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස ද වගකීම් දරා ඇති ඔහු වසර 35ක කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියන නිලධාරියෙකි.

රජය සතු වටිනාම රාජ්‍ය ව්‍යාපාරයක් වන ලංකා ඛනිජ වැලි සමාගම පූර්ණ විනිවිදභාවයක් සහිතව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමටත් කැණීම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් ලංකාවට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගයක් බවට ආයතනය පත් කිරීම සභාපතිවරයා ලෙස තමා බලාපොරොත්තු වන බව අශෝක පීරිස් මහතා තම නව වගකීම භාර ගනිමින් පැවසීය.