පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන ජනවාරි මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (28) නියෝග කළේය. කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඇති ඉඩමකට අදාළ වන්දි මුදල් ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා සිටි අවස්ථාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය කෙරිණි.

කෝට්ටේ, මාදිවල ප්‍රදේශයේ පදිංචි චමින්ද තුෂාර වර්ණකුලසූරිය නමැති ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා මාදිවල ප්‍රදේශයේ

වෙ‍ෙළඳසලක් ඉදිරිපිට දී ඉකුත් 27 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ, පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ඥාතියකුට අයත් කොළඹ ටොරින්ටන් ඇවනිව්හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පවරාගෙන තිබී ඇති බවත්, එම ඉඩම වෙනුවෙන් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් පැමිණිලිකාර පාර්ශ්වයට හිමිවීමට නියමිතව තිබී ඇති බවය. එම මුදලින් කෝටි තුනක චෙක්පතක් පැමිණිලිකරුට ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබීය.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව එම විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් අනුව ලක්ෂ අනූවක මුදල ලබාදීම සඳහා මාදිවල පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි වෙ‍ෙළඳසලක් ඉදිරිපිටට පැමිණෙන ලෙස සැකකරුවන් දෙදෙනාට දැනුම් දුන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

ඒ අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයා කරන ලද දැනුම් දීමට අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා ඉහත සඳහන් ස්ථානය වෙත ගොස් එම මුදල ලබා ගැනීමට තැත් කිරීමේ දී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ, පැමිණිලිකාර පුද්ගලයා ලබා දී ඇති චෙක්පතකට අදාළ මුදල් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පැමිණිලිකාර පුද්ගලයා සැකකරුවන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඔවුන් එම ස්ථානයට ගිය අවස්ථාවක දී විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බැවින් එය අල්ලස් ගැනීමේ ක්‍රියාවක් නොවන බවත් ඔවුන් ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.