ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් සකස් කරනවා-සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස

ප්‍රතිජීවක ඖෂධ භාවිතය ඉහළ රටක් ලෙස මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය සඳහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමටත්, විද්‍යාත්මකව ඒ සඳහා අවශ්‍ය කරන නව නීති ගෙන ඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම‍ට විධිමත් සැලැස්මක් සකස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මාත්‍රාව වරදවා ප්‍රතිජීවක ඖෂධ භාවිතය නිසා 2019 වසරේදී 2,300 දෙනකුගේ පමණ ජීවිත අහිමිව ඇති බව ගණන් බලා ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ‘අපි සැවොම එක් වෙමු – ප්‍රතිජීවක ඖෂධ රැකගනිමු’ යන්න තේමා කරගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ‘ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව පිළිබඳ දැනුවත් වීමේ සතිය’ (World Antimicrobial Resistance Awareness Week) නිමිති කරගෙන පැවති පාගමනට පසුගියදා (27) එක් වෙමිනි.

පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන් ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධවල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන්ට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව ගෝලය විනාශයට පත් විය හැකි බවට මේ වන විට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය. මේ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මූලික අරමුණක් වූ අතර ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවක්යැයිද ඇමැතිවරයා කීය.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යසනයක් බවට පත්ව තිබෙන බවත් මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු 10 අතුරින් එක් ගැටලුවක් ලෙස ප්‍රතිරෝධය ඇති වීම හඳුනාගෙන ඇති අතර, මේ ප්‍රතිරෝධය හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව පිළිබඳ දත්ත ලෝකය සහ මෙරට සතුව පවතින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවන බවත් අනවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් රට තුළට ගෙනඒම සහ නිර්දේශ කිරීම යටතේ රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වන බවත් ඇමැතිවරයා කියා සිටියේය. ඖෂධ සඳහා භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් වෙන් කරන අතර, එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන්නේ නම් එය ආර්ථික ගැටලුවක් බවද ඇමැතිවරයා පැවසීය.

සෞඛ්‍ය, පරිසර, කෘෂිකර්ම ධීවර හා ජලජ සම්පත් යනාදී අමාත්‍යාංශ, ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයන්ගේ විද්‍යාතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය යනාදි ආයතනවල දායකත්වයෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ප්‍රමුඛ එම අංශය විසින් මේ පාගමන සංවිධානය කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, පරිසර, කෘෂිකර්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශවල සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරිපාලකයන් හා වෘත්තිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.