නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව අපට අද අරගල කරන්න වෙලා-‘ශිල්ප අභිමානී – 2024’ ජනාධිපති සම්මාන උලෙළේදී කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

වෙනස් නොවන මිනිස්සු වෙනස් කරගෙන හරි අපි මේ ගමන යනවා

ආණ්ඩු සමඟ තරග කර ආණ්ඩුවක් පිහිටෙව්වත් නිලධාරීන්ගේ පැරණි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීමට වර්තමානයේදී සිදු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව සංවිධාන කරන ‘ශිල්ප අභිමානී – 2024Ó ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවති අවස්ථාවේදීය.

මෙහිදී ස්වර්ණ සම්මාන දෙකක් සහ රජත සම්මාන 24ක් ඇතුළු විශිෂ්ට නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනමනු ලැබීය.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

අවුරුදු විස්සකට කලින් මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රය පිරෙන්න වෙළෙඳ කුටි පවත්වා ප්‍රදර්ශන පවත්වා දැවැන්ත උත්සවයක් පැවැත්වුණා. ‘ශිල්ප 2004 විස්කම් දෑතට සවිය’ එදා අපේ තේමාව වුණේ. අවුරුදු විස්සකට පස්සේ විස්කම් දෑතට සවිය කියන තේමාව ඉවත් වුවත් සම්මාන උලෙළ පවත්වන එක ගැන පැවති හැම ආණ්ඩුවක්ම ඒක පවත්වාගෙන ආපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා.

ශිල්පීන් ඇගයීම අපේ රටේ සාම්ප්‍රදායික දෙයක් හැටියට විතරයි සිදු වුණේ. ඒක ව්‍යවසායකත්වයට එකතු කර ශිල්පීන්ට අභියෝගයක් ගේන්න අපට එදා පුළුවන්කම ලැබුණා. කනගාටුවෙන් කියන්න වෙනවා අවුරුදු විස්සකට පස්සේ ආපස්සට හැරී බලද්දි කර්මාන්තවලට, මේ ශිල්පීන්ගේ නිර්මාණවලට මොකද වෙලා තිබෙන්නේ. ශිල්පීන්ගේ නිර්මාණවලට වෙච්ච දේ බලන්න නම් ඒක බලන්න තිබෙන්නේ ශිල්පීන්ගේ ජීවිතවලට වුණු දේ අනුවයි.

මේ ශිල්පීන්ගේ ජීවිත මීට අවුරුදු විස්සකට පෙර තිබූ තැනින් එහාට ඇවිත් නම් අපට සතුටු වෙන්න පුළුවන් මේ කර්මාන්තය ශිල්පීන් වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට යමක් කර තිබෙනවා කියලා. නමුත් මේ ශිල්පීන්ගේ පවුල්වල දරුවන්ගෙන් කී දෙනෙක් මේ කර්මාන්තයේ ඉන්න බැරුව වෙන රටවල්වලට රැකියා හොයාගෙන ගිහින් තිබෙනවද? වෙන රැකියාවලට ලංකාවේ ගම්මානවලින් වෙන පළාත්වලට ගිහින් තිබෙනවද? තාත්තලා අම්මලා කරන මේ කර්මාන්තය සාම්ප්‍රදායික දේවල් වැඩක් නැහැ. මේවයින් ජීවත් වෙන්න බැහැ. ගෙයක් හදාගන්න බෑ. වාහනයක් ගන්න බෑ. ජීවිතේ ගොඩනඟන්න බැහැ කියලා එතැනින් අයින් වුණු අය කොයි තරම් ඉන්නවද? අද ස්වර්ණ සම්මාන ලබන සමන්ගේ නිර්මාණය ඔබ දැක්කා. මම දැක්කේ ඒ නිර්මාණය පිටිපස්සේ තිබෙන සමන් වැඩ කරන තැන. ඔහුගේ නිවස වෙන්න පුළුවන්. ඔහු වැඩ කරන වැඩපොළ වෙන්න පුළුවන්. ඒකෙ බිත්ති. ඒ බිත්ති තාම කපරාදු කර නැහැ. බ්ලොග් ගල් ටික විතරයි බැඳලා තිබෙන්නේ. නිර්මාණ දිහා බැලුවට ඒ නිර්මාණවල තිබෙන ජීවිතය දියුණු වුණාද කියන එකයි අපි දකින්න ඕනෑ. සමන්ගෙ වගේ තමයි හැමෝගෙම කතාව. ඒක වෙනස් කරන්න බැරි වුණු කනගාටුව අපට තිබෙනවා වගේම ඒකෙ වගකීම දරාපු අය ගැන අපට සාධාරණ විවේචනයක් තිබෙනවා. ඒක වෙනස් කරන්නයි අපි ඇවිත් ඉන්නේ.

අවුරුදු විස්සකට පස්සේ තිබෙන ඉතාමත් අභිමානවත් ප්‍රදර්ශනය හා සම්මාන උලෙළ අපි ලබන අවුරුද්දේ පවත්වනවා. ඒ සඳහා අද සිට සූදානම් වෙන්න කියා මම කියනවා. ඊට අවශ්‍ය කරන පහසුකම් ශිල්ප සභාව, මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල, කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන එකතු කරගෙන කරනවා.

මට කියන්න කනගාටුයි ශිල්ප සභාවට ගියපු වෙලාවේ මම දැකපු දේ. ජනකලා කේන්ද්‍රයේ 2004 තිබුණේ එක ගම්මානයක් හැටියට. අද ඒක තුනට බෙදිලා. අවුරුදු විස්සකට පස්සේ යනවිට ශිල්ප සභාවේ ඒක කෑල්ලක්. ලක්සලේ තව කොටසක්. සංස්කෘතික අමාත්‍යාංශය තව කොටසක්, හමුදාවත් කොටසක ඉන්නවා. ඉඩම බෙදාගෙන වැටවල් ගහගෙන වෙන් කර ගෙන. ලක්සල විකුණන්නේ ශිල්පීන්ගේ භාණ්ඩ වුණාට ශිල්ප ගම්මානයට ඇතුළු වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා ශිල්පීන්ගෙන් විවේචනයක් තිබෙනවා. ශිල්පීන්ගේ ඉල්ලීම තිබුණේ අනේ ඇමැතිතුමා මේක කොහොමහරි ආයෙමත් කර්මාන්ත අමාත්‍යාංශයට අරගන්න. සංස්කෘතික අමාත්‍යාංශයෙන් අයින් කර ගන්න, අපේ ගම්මානය ආයෙමත් හදා දෙන්න කියන එකයි. ඊට දවස් තුනකට පස්සේ සංස්කෘතික ඇමැති සුනිල් සෙනෙවි මහත්තයා එක්ක ගිහින් සාකච්ඡා කළා. සංස්කෘතික අමාත්‍යාංශයෙන් අයින් කරන්න නොවෙයි දැන් ඕනෑ. එකට වැඩ කරන අමාත්‍ය මණ්ඩලයක් දැන් ඉන්නවා. සංස්කෘතික අමාත්‍යාංශයත් එකතු කර ගෙන කර්මාන්ත අමාත්‍යාංශයත් එකතු කර ගෙන ඒකාබද්ධ වැඩපිළිවෙළක් හැටියට අපි මේ ගම්මානය ශිල්පීන්ගේ දක්ෂතාවන් සංස්කෘතික වටිනාකම අගය කරන ස්ථානයක් බවට යළි පත් කරමු. ඒ වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. රටක් හැටියට අපි ආර්ථික අර්බුදයක ඉන්න බව ඔබ දකිනවා. ඊළඟට අපට ලොකු වැඩපිළිවෙළක් තිබෙනවා.

අපි ආණ්ඩු බලය ගන්න කලින් අපට එළියේ පාරේ සටනක් තිබුණා ජනතාව වෙනුවෙන්. ඒ සටන අපට තිබුණේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න. නාස්තිය, දූෂණය, වංචාවට, හොරකමට එරෙහිව. පැවති ආණ්ඩුවල තිබුණු වැරදි වැඩ විවේචනය කරන්න අපි මහ පාරේ අරගලයක් කළා. දැන් අපි ආණ්ඩුව ඇතුළට ඇවිත් ඉන්නේ. දැන් අපට තිබෙන අරගලේ කාත් එක්කද තිබෙන්නේ කියලා ඔබ දන්නව ද? අපට අරගලේ තිබෙ‍න්නේ නැවතත් ජනතාව වෙනුවෙන්. පහුගිය ආණ්ඩුවල පරණ පුරුදු විදිහට වැඩ කරපු තීන්දු තීරණ ගත් ජනතාවට සහන නොදී කටයුතු කළ නිලධාරීන් සමඟයි. ඒ නිලධාරීන්ට දැන් සිදු වෙලා තිබෙනවා ඔවුන් ඉතිහාසයේ කළ දේවල් එක්කෝ නියෝජනය කරන්න. එහෙම නැතිනම් ඒවායින් අයින් වෙන්න. පරණ පුරුද්දට වැඩ කරපු දේවල්වලින් අයින් වෙන්න බැරිකමයි ඔවුන්ට තිබෙන්නේ.

අනුර දිසානායක සහෝදරයාට ජනවරම ලැබී තිබෙන්නේ ඔවුන් පසුගිය ආණ්ඩුවල වැඩ කරපු ප්‍රතිපත්තිවලට විරුද්ධව කියා තාම ඒ නිලධාරීන්ට තේරුම් ගන්න අමාරුයි. සමහර වෙලාවට අපට තේරුම් කරන්නත් අමාරුයි. එදා ඒ ආණ්ඩුත් එක්ක ගහපු ගිවිසුම් ගැන ඔවුන් අදටත් පෙනී සිටිනවා. ගැසට් පත්‍ර ගැන ගිවිසුම් ගැන ගත් තීරණ ගැන ගත් කැබිනට් මණ්ඩල තීරණ ගැන ඔවුන් පෙනී සිටිනවා. අද බට ටිකක් ගන්න ගියාම ඒ අභියෝගය තිබෙනවා. කැලේ තිබෙන කැලේටත් වැඩක් නැති ශිල්පීන්ට විතරක් වැඩක් තිබෙන බටයක් කපාගන්න ගියාම පොලිසියෙන් නඩු දානවා. ඒ බටේ හැබැයි කැලේ තියෙන්නෙත් ටික කාලයයි. කැලේට වැඩකුත් නෑ. වැඩක් තියෙන්නේ ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් කරන ශිල්පීන්ට විතරයි. හැබැයි ඒකට වැට බැඳලා. ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ. මේ රටේ තිබෙන නීතිය එහෙමයි. ලබන අවුරුද්දේ සිට අපි සහතිකයක් දෙනවා. ඔබට අවශ්‍ය ප්‍රමාණයේ තඹ, පිත්තල, යකඩ ඒ වාත්තු කර්මාන්තයට ඕනෑ කරන හැමදෙයක්ම දීලා තමයි ඉතිරි අයට වෙළෙඳාම් කරන්න ඉඩකඩ හදා දෙන්නේ. ඒකට කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අපි හැමෝම වග කියනවා.

තවදුරටත් ශිල්ප සභාව, මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල, සළුසල මේ ආයතන වෙන්වෙලා තිබිලා වැඩක් නැහැ. මේවා එකට වැඩ කරන්න ඕනෑ. අමාත්‍යාංශය යටතේ ඔබත් බෙදිලා වැඩ කළොත් අපට මේ සටන කරන්න බැහැ.

අපට තිබෙන්නේ සාමකාමී ගමනක් නොවෙයි. බලය ලබා තිබුණට ගමන ඉතා දුෂ්කරයි. අපට හැප්පෙන්න තිබෙන්නේ ලෝකයත් එක්ක නම් අපට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ලෝකයක් එක්ක ඉස්සරහට යනවට එකඟ නොවෙන මිනිස්සුත් එක්ක සහ ප්‍රතිපත්තිත් එක්ක අපිට හැපෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ අභියෝගය. ඔවුන් වෙනස් වෙන්න ලෑස්ති නැත්නම් ඔවුනුත් වෙනස් කරගෙන අපි මේ ගමන යන්න ඕනෑ.

වෙනස් වෙන්නැති මිනිස්සු වෙනස් කර ගෙන හරි අපි මේ අභියෝගය භාර ගන්නවා. 2025 ජනවාරි පළමුවැනිදා සිට අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරා ගෙන යනවා යැයිද පැවැසීය.