සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය එකට එක ලෙස සම කරමින් තවදුරටත් තරගාවලිය තුළ රැඳී සිටීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (30) දෙවැනි විස්සයි20 තරගයට පිටියට පිවිසෙයි.
එම තරගයත් මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදීම මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතය.
දෙපිල අතර පෙරේදා පැවති තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකි විය. ඒ හේතුවෙන් තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජය අනිවාර්ය වී තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුගලයෙන් (පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්) සාර්ථක ආරම්භයක් ලැබුණත් අසාර්ථක වූ මැද පෙළ පිතිකරණය හේතුවෙන් ලකුණු 38ක් තුළ කඩුලු 8ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවට පරාජය වැලඳ ගැනීමට සිදු විය. එබැවින් අද තරගයේදී මැද පෙළ පිතිකරුවන්ගෙන් වගකීම් සහිත පිතිකරණයක් අවශ්‍යම වී තිබේ.
පළමු තරගයේ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 172ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 164ක් පමණි.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 121ක් එක් කිරීමට පැතුම් සහ කුසල් සමත් වූහ. එය ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගයකදී පළමු කඩුල්ලට ගොඩනැඟූ දෙවැනි ඉහළම සබඳතාව ද විය.
කෙසේ වෙතත් ඕවර 13ක් නිමා වන විටත් ශ්‍රී ලංකාව සතුව තිබූ තරගයේ වාසිය තම පිල දෙසට හරවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූයේ එම සබඳතාව ද සමඟ ලකුණු 38ක් තුළ කඩුලු 8ක් බිඳ දමමිනි.
14 වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දැවී ගිය අතර, එම ඕවරයේ අවසන් පන්දු දෙකේදී කුසල් පෙරේරා (0) සහ කමිඳු මෙන්ඩිස් (0) දැවී ගියහ. මුළු ලකුණු 153ක් දක්වා ඉදිරියට ගෙන ගිය පැතුම් 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 60කින් ලකුණු 90ක් රැස් කර තිබුණේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟිනි. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් හැර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකි වීම තරගයේ පරාජයට හේතුව විය. මුල් කඩුලු 3 බිඳ දමමින් තරගය තම පිල දෙසට හැරවූ ජේකොබ් ඩෆී තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ මුල් කඩුලු 5 ලකුණු 65ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් ඩැරල් මිචෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් එක්ව ලකුණු 105ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ලකුණු 172ක් දක්වා ඔසවා තැබූහ. මිචෙල් ලකුණු 62ක් සහ මයිකල් ලකුණු 59ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.
නවසීලන්තය – 172/8 (ඕවර 20) ඩැරල් මිචෙල් 62, මයිකල් බ්‍රේස්වෙල් 59 (බිනුර ප්‍රනාන්දු 22/2, මහීෂ් තීක්ෂණ 29/2, වනිඳු හසරංග 33/2)
ශ්‍රී ලංකාව – 164/8 (ඕවර 20) පැතුම් නිස්සංක 90, කුසල් මෙන්ඩිස් 47 (ජේකොබ් ඩෆී 21/3, මැට් හෙන්රි 28/2, සකාරි ෆෝල්ක්ස් 41/2)