දැනට බිත්තරයක් දෙන්නේ රු.10ක් පාඩුවට

මේ වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරන්නේ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරයි.

ඒ අනුව එක බිත්තරයකින් නිෂ්පාදයකුට රුපියල් දහයක පමණ පාඩුවක් වන බව එහි සභාපති හෙක්ටර් නිශාන්ත අප්පුහාමි මහතා පවසයි. ඒ අනුව විෂය භාර අමාත්‍යවරුන් මේ සඳහා වහා මැදිහත් විය යුතු බව ද කුකුළු ගොවිපළ සඳහා අවශ්‍ය ආහාර අඩු මිලට ලබා දුනහොත් බිත්තරයක් රුපියල් තිහක මුදලකට ලබා දීමට හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ නොවුනහොත් නිෂ්පාදකයන් කර්මාන්තයෙන් ඉවත් වී තවත් මාස කිහිපයක් ඇතුළත මෙම ක්ෂේත්‍රය කඩාවැටෙනු ඇති බව ද හෙතෙම කියා සිටියේය. එවිට නැවත වතාවක් බිත්තරයක් රුපියල් පනහ හැට සීමාව ඉක්මවා යනු ඇති බව පැවසූ ඔහු ආණ්ඩුවට නැවතත් බැනුම් ඇසීමට සිදුවනු ඇති බව ද පැවැසීය.