ක්‍රිකට් පිටියේ රිදී සීනුව නිහඬ වී වසර 12යි

ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර ප්‍රකාශක ටෝනි ග්‍රෙග් මහතා නිහඬ වී ඊයේ දිනට වසර 12ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය.

ප්‍රතාපවත් පෞරුෂයකින් හා මිත්‍රශීලී කටහඩකින් පරිපූර්ණවූ ලොව අති විශිෂ්ටතම ගවේෂණාත්මක ක්‍රිකට් විස්තර විචාරකයා මියගිය පුවත ලොව පුරා දැඩි කම්පනයක් ඇති කළා මෙන්ම, බොහෝ අයට එක්තරා සිහිනයක් බඳු විය. ටෝනී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වීමේ පුවත සැලවීමෙන් ලොව අති වි‍ශාල පිරිසක් කම්පාවට පත් වූවේය. අදටත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන් අතර ටෝනි ග්‍රෙග් ජනප්‍රිය නාමයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරණීය නම් පටබඳිමින් අපූර්වත්වයක් හා නැවුම් බවක් ගොඩනැඟූ ටෝනි ග්‍රෙග් 2012 දෙසැම්බරයේ අසනීප වී සිටියදී විවිධ ආගමික වතාවත් සංවිධාන කළ මෙරට ක්‍රීඩා ලෝලීහු සුවය ප්‍රාර්ථනා කළහ. ඒ බව සැලවී ඔහු ශ්‍රී ලංකාවේ ජනතාවට අසනීප වී සිටියදීම කෘතවේදීත්වය පළ කිරීමට අමතක නොකළේය.

මිය යන්නට මාස කිහිපයකට පෙර පිළිකා රෝගය වැලඳී ඇති බව දැන තම බිරිය සමඟ එක්ව රෝගයට එරෙහිව සටන් කරන බව පැවසුවද, ඔස්ට්‍රේලියාවේ සාන්ත වින්සන්ට් රෝහලේදී ඔහු ජීවන ගමන නිමා කළේය. එහෙත් ටෝනි ග්‍රෙග් මහතාගේ අවසන් සහතිකයේ ලියැවුණේ මරණයට හේතුව හෘදයාබාධයක් බවය. වසර 66ක ජීවිත කාලයේ වැඩි හරියක්ම ක්‍රිකට් පිටිය තුළත් ක්‍රීඩා විචාරක අට්ටාලයේත් ගත කළ ඔහුගේ අවසන් විස්තර ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පැවති 2012 විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වේ.

ටෝනි ග්‍රෙග් මහතා ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ අයෙකි. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගන්නා බවට කල්තියාම අනාවැකියක් පළ කිරීමට තරම් ටෝනි ග්‍රෙග් මහතාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුව තිබිණි. ටෝනි ග්‍රෙග් මහතා සතු තාක්ෂණික දැනුම හා ළෙන්ගතුකමට හොඳම උදාහරණයක් වූයේ දිගන් දිගටම මුරලි බේරා ගැනීමට රූපවාහිනී වැඩසටහන් සම්පාදනය කිරීමය. ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරග සංචාරයක යෙදී සිටින අතරතුර 2012 දෙසැම්බර් 29 දා ටෝනි ග්‍රෙග් මහතා මිය ගියේය.