කර්මාන්තකරුවන්ට සහන දෙන්න මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයේ අඩුපාඩු රැසක්-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සන්ධානය

බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මහ බැංකුව නිකුත් කර තිබෙනුයේ අඩුපාඩු සහිත චක්‍රලේඛයක් බව කුඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඒකාබද්ධ සන්ධානය කොළඹදී පෙරේදා (28) පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ආචාර්ය එස්. රාඝුවන් මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

ඒ අනුව තමන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට එකඟ වූ යෝජනා ද ඇතුළත් කොට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලා සිටිනවා.

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට පසුගිය රජය කටයුතු කළා. එය දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වුණා. වත්මන් ආණ්ඩුව මෙය ලබන වසරේ මාර්තු 31 වැනි දක්වා දීර්ඝ කළා. ඉන්පසු එය අත්හිටුවීම අනවශ්‍ය බව මහ බැංකුව සඳහන් කර සිටියා. ඔවුන් කියා සිටියා ශ්‍රී ලංකා බැංකු සංගමය මෙම දීර්ඝ කිරීමට අනවශ්‍ය බව කියා තිබෙන බව. අප මේ අවස්ථාවේ මහ බැංකුවෙන් අහන්නෙ වෙන යම් සංගමයක් කියන කරුණක් පදනම් කරගෙන චක්‍රලේඛයක් නිකුත් කරන්නේ කෙසේද යන්නයි. එය නොකළ යුත්තක්. මහ බැංකුවට එය කැලැලක්.

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා-

අපේ රටේ මේ වන විට පරාටේ නීතිය යටතේ ණය හිමියන් හත්ලක්ෂ පනස් දහසක් පමණ ණය ගෙවා දැමීමට බැරුව හිරවී සිටිනවා. ඒ අයගේ දේපොළ සම්බන්ධයෙන් පරාටේ නීතිය අනුව කටයුතු කරනවා. ඔවුන්ගේ වත්කම්වලට වෙළෙඳපොළේ පවතින මිලට සමාන තක්සේරුවක් කර නැහැ. තක්සේරු වටිනාකමක් එක්කර නැහැ. අඩු තක්සේරුවක් යටතේ මේවා වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටිනවා. එය වහාම නැවැත්විය යුතුයි.

මහ බැංකු අධිපතිවරයා වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම හරියාකාරව තේරුම් අරගෙන නැහැ. ඔහු කටයුතු කරන්නේ අත්තනෝමතික ලෙසයි. මෙවැනි වැරදි චක්‍රලේඛ නිකුත් නොකර අපට සහන ලැබෙන ලෙස වහා චක්‍රලේඛයක් නිකුත් කළ යුතුයි.

බ්ලු ඕෂන් සමාගම් සමූහයේ සභාපති තුමිලන් ශිවරාජා මහතා ඇතුළු ව්‍යවසායක සංගම් දහයක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.