ඉන්ධන බවුසර්වල සීල් නොකඩා තෙල් අදින ජාවාරමක්-බවුසර් දෙකක රියැදුරන්, සහායකයන් සමඟ මිලදී ගත් පුද්ගලයාත් අත්අඩංගුවට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවූ බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂ්ම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියැදුරන් දෙදෙනකු, සහායකයන් දෙදෙනකු ඇතුළු ඉන්ධන මිල දී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

පෙට්‍රල් ලීටර් 70ක් සහ ඩීසල් ලීටර් 80ක් සහිත ප්ලාස්ටික් බූලි 7ක් සමඟ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලීසිය පවසයි.

බණ්ඩාරගම පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එස්. ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී ඉන්ධන බවුසරය නවතා තිබූ ස්ථානයේ ද ඉන්ධන බිම වැගිරී තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකුට අයත් බවුසර් රථ දෙකකින් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට වස්කඩුව සහ කළුතර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන තොග ප්‍රවාහනය කරන අවස්ථාවේදී ධාවනය කිරීමට නියමිත මාර්ගයෙන් අතුරු මාර්ගයක ගොස් මෙම ඉන්ධන තොගය ඉතා සූක්ෂ්ම ලෙස බවුසර්වලින් ලබාගෙන අලෙවි කර ඇති බවට මෙතෙක් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

එසේ නොවන්නට ඔවුන්ට මෙපමණ පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන ප්‍රමාණයක් බවුසර් රථවල තබාගෙන කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළට ප්‍රවාහනය කිරීමට ඉඩප්‍රස්තාවක් නැතැයි ද, එම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී විවිධ පරස්පර අදහස් ප්‍රකාශ කළ ද මෙතරම් ඉන්ධන ප්‍රමාණයක් මෙම සැකකරුවන්ට බවුසර් දෙකෙන් ලබාගන්නවා හැරෙන්නට වෙනයම් ක්‍රමයකින් ලැබීමට කිසිදු ඉඩක් නොමැති බවට පොලීසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් සමඟ පොලීසියට රැගෙන ආ ඉන්ධන බවුසර් දෙකේ ඉන්ධන කරාම පරීක්ෂා කිරීමේ දී මුද්‍රා නොකඩන ලද ඉන්ධන කරාම අසලින්, ඉන්ධන පිටතට වෑහෙන බවට සිදු කළ පරීක්ෂාවේ දී දැකගත හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, කළුතර, හික්කඩුව, උඩුගම සහ බණ්ඩාරගම පදිංචිකරුවන්ය.

සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන 9 වනදා අධිකරණ ඉදිරියේ පෙනී සිටීමට උපදෙස් ලබා දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.