අධ්‍යාපන ක්‍රමයේ මානසික බිඳවැටීම්වලින් පාසල්වලටත් මානසික උපදේශන අවශ්‍ය වෙලා-අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ ‘සිසු දිරියට බොදු සවියක්’ ශිෂ්‍යත්ව වැඩසටහනේදී පවසති

අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් සිසු දරුවන් තුළ ඇති කරන මානසික බිඳ වැටීම් ඉහළ යෑම නිසා විශ්වවිද්‍යාල මට්ටමේ සිට පාසල් දරුවා දක්වාම මානසික උපදේශන සේවා අත්‍යවශ්‍ය තත්ත්වයක් මේ වනවිට ගොඩනැඟී ඇතැයි අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පවසති.

පවතින අධ්‍යාපන ක්‍රමයේ විශාල හිඩැසක් තිබෙන බවත් මේ නිසා දැනුම පමණක් ඇති ගුණවත්භාවයක් නැති උගතුන් බිහිවීම එන්න එන්නම වැඩි වෙමින් තිබෙන බවත් උන් වහන්සේ කීහ.

දළදා මාලිගාවේ මූලිකත්වයෙන් මහජන බැංකුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක ‘සිසු දිරියට බොදු සවියක්’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 207ක සිසු දරුවන් 2070 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම නිමිත්තෙන් පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (27) පැවති උත්සවයේදී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ බව පැවසූහ.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

Òපූජනීය ස්ථානයක් ලෙස කවුරුත් හඳුනාගෙන තිබෙන දළදා මාලිගාව තුළින් වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. මේ ඔස්සේ දළදා මාලිගාව අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් වත්මන් දියවඩන නිලමේතුමන්ට හැකිවී තිබෙනවා.

අනුන් වෙනුවෙන් පිහිට වෙමුයි කියන බුද්ධ දේශනාව මේ තුළින් අර්ථවත් වෙනවා. මෙය බෞද්ධයන් දිරිගන්වන වැඩක් නොව ජාතියට වටිනා උගතුන් බිහි කරන වැඩපිළිවෙළක්. උගත්කම පමණක් එකම දේ නොවන බව අප තේරුම් ගැනීම වැදගත්.

අද රටේ පොතේ උගතුන් මෙන්ම ශාස්ත්‍රීය උගතුන් වැඩි වෙලා. ඒ නිසාම කපටිකම් කරන පිරිසක් බිහි වෙලා. දැනුම පමණක් ඇති ගුණවත්භාවය නැති පිරිසක් රටේ ඇති වෙලා. රටේ අද ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයේ ලොකු හිඩැසක් තිබෙනවා. මේ තුළින් යහපත් ගුණවත්භාවය සමඟ දැනුම්වත් මිනිසෙක් බිහි වෙනවාද කියන ප්‍රශ්නය මතු වෙලා. උගතුන් නැණවතුන් පරිපාලකයන් නොයෙක් ක්ෂේත්‍රවල ඉන්නවා.

ඔවුන්ගේ ආචාරශීලී පැවැත්ම අඩුයි. රටේ මිනීමැරුම්, කොල්ලකෑම් වැඩිවෙලා. මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගිහින්. මෑත කාලීනව මානසික රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. පාසල්වලට මනෝ උපදේශනය අවශ්‍ය වෙයි කියා අපි කවදාවත් හිතුවේ නැහැ. නමුත් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නොව පාසල් සිසුන්ට පවා උපදේශන සේවා අත්‍යවශ්‍ය වෙලා. මේ තරමට මානසික බිඳ වැටීම් මේ අධ්‍යාපන ක්‍රමය එක්ක ඇති වෙලා. ගුණවත්භාවය සමඟ යන නැණවත්භාවය තමයි බුදුන්ගේ ක්‍රමය. දැන් එදාට වඩා ඒ ක්‍රමය අවශ්‍ය වෙලා.Ó

දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

Òරටේ හෙට දවස භාර ගැනීමට සිටින දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් තමයි දළදා මාලිගාව මූලික වී මේ සිදු කරන්නේ. මේ ලබන ප්‍රතිලාභය ඔස්සේ අධ්‍යාපන කටයුතු නිමා කර ඔබ සැම මේ රටට වඩා යහපත් සේවාවක් ලබාදෙයි කියන විශ්වාසය අපට තිබෙනවා. පහේ ශිෂ්‍යත්ව විභාගයේදී මවුපියන් දරුවන්ට අසීමිත පීඩනයක් දෙමින් ඔවුන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවනවා. ඒ කඩඉම පසු කළාට පසුව ගොඩක් මවුපියන් දරුවන්ව අත්හරිනවා. මේ නිසා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වන බොහෝ දරුවන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ මට්ටමක නැහැ.

සාමාන්‍ය පෙළින් පසු ගොඩක් දරුවෝ උසස් පෙළ විෂයන් තෝරා ගන්නේ මවුපියන්ගේ බල කිරීමටයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ නම් ඒ අය තමන්ගේ කැමැත්ත පසෙක තබා මවුපියන්ගේ බල කිරීම මත උසස් පෙළට ජීව විද්‍යාව හෝ ගණිත විෂයන් හදාරනවා. දරුවාගේ හැකියාව, කැමැත්ත අනුව ඔවුන්ට උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට ඉඩදිය යුතුයි.Ó

මේ අවස්ථාවට දළදා මාලිගාවේ තේවාව භාර, මහිංගණය රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මහනුවර නාථ දේවාල බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මහජන බැංකුවේ සභාපති, මහාචාර්ය නාරද ප්‍රනාන්දු, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ක්ලයිව් ෆොන්සේකා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.