ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් බේරාගෙන තිබුණා.

අදාළ සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරට ගොස් තිබූ නමුත් ඔවුන් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ.

කිසිදු තැනැත්තෙකුට එම සරණාගතයින් හමුවීමට අවසර ලබානොදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරිය නියෝග කර ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආගමන විගමන පාලක ජනරාල්වරියගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා බවයි.

අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරී ඇති අතර මෙම සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීමක් බව ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.