වත්මන් රජයට සටනක් දීමට සිදුව ඇති දෙයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්-හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ජනාධිපති ස්වර්ණ සම්මානයක් ඉතිහාසයේ ප්‍රථම වරට උතුරට

දේශීය කර්මාන්ත රැක ගැනීමට ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (28) කොළඔ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ශිල්ප අභිමානී 2024” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් සහිත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගයීමට ලක් කිරීම හා ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරඟය හා ජනාධිපති සම්මාන උළෙල සංවිධානය කරන අතර මෙහිදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31 ක් හා උපක්ෂේත්‍ර 66 ක් නියෝජනය වන පරිදි පැවැත්වූ පලාත් තරඟ වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් ජාතික තරඟය සඳහා ඉදිරිපත් කර මෙම ජනාධිපති සම්මානලාභීන් තෝරා ගනු ලබයි.

මෙවර “ශිල්ප අභිමානී 2024” සම්මාන උළෙලේදී සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන යන අංශ 2 යටතේ ස්වර්ණ සම්මාන 2 ක් පිරිනැමුනු අතර සම්ප්‍රදායික අංශයේ ස්වර්ණ සම්මානය T.G. සමන් ශිල්පියාටද සම්ප්‍රදායික නොවන අංශයේ ස්වර්ණ සම්මානය උතුරු පළාතේ P.S. Sammakrishna ශිල්පියාට හිමිවිය. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ස්වර්ණ සම්මානයක් උතුරු පළාත දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. ස්වර්ණ සම්මාන 2 ක්, රජත සම්මාන 24 ක්, ජාතික ප්‍රථම ස්ථාන, දෙවන ස්ථාන හා තෙවන ස්ථාන ඇතුළුව සම්මාන 407 ක් මෙවර ජනාධිපති සම්මාන උළෙලේදී හස්ත කර්මාන්ත ශිල්පීන්ට ප්‍රදානය කරන ලදී.

මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ලබන වසරේදී මෙම සම්මාන උළෙල ප්‍රදර්ශනයක්ද සහිතව අති උත්කර්ෂවත් අන්දමින් ජාතික උත්සවයක් ලෙස පැවැත්වන බවට හස්ත කර්මාන්ත ශිල්පීන්ට පොරොන්දුවක් ලබාදුන් අතර ශිල්පීන්ගේ දක්ෂතාව, වටිනාකම්, සංස්කෘතික අනන්‍යතාවයන් කැටිකර ගත් මෙම වටිනා කර්මාන්තය ඉදිරියට ගෙන යාමට තමා ඇතුළු තම අමාත්‍යාංශය කටයුතු කරන බවත් හස්ත කර්මාන්ත පමණක් නොව මුළු රටේම කර්මාන්ත ආරක්ෂා කිරීම තමාගේ හා තම අමාත්‍යාංශයේ වගකීම බවත් පැවසූ අමාත්‍යවරයා දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුවී ඇති බව පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා,

ශිල්පීන්ගේ ආදරය, කරුණාව, පාරම්පරික වටිනාකම, අනන්‍යතාවය යන ගුණාංග කැටි කර ගනිමින් නිපදවෙන අත්කම් නිෂ්පාදන සඳහා මිලක් නියම කළ නොහැකි වුවත් ඒවායේ කලාත්මක වටිනාකම සඳහා වෙළඳපළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් ශිල්පීන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින්, ශිල්පීන් ආරක්ෂාකරගනිමින් මෙම නිර්මාණාත්මක කර්මාන්තය නව දිශානතියක් ඔස්සේ සංවර්ධනය කිරීමට කටයුතු කරන බව පැවසීය.

සම්මාන උළෙල සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ශිල්ප සභාවේ සහාපති අයේෂා වික්‍රමසිංහ, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සභාපතිවරුන්, විද්වතුන්, ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.