ජීවිත දෙලක්ෂ තිස්දහසක් අහිමි කරමින්ද, තවත් ජීවිත හතළිස් දහසක් අතුරුදන් කරමින් ද 2004 දෙසැම්බරයේ 26 වැනිදා සිදු වූ ලොව දරුණුතම සුනාමි ව්‍යවසනයේ විසිවැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ රටවල් රැසක සැමරුම් උත්සව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විසිවසරකට පෙර දෙසැම්බරයේ 26 වැනිදා උදෑසන 8.00ට මිනිත්තු කිහිපයකට පෙර ඉන්දුනීසියාවේ නැඟෙනහිර සුමාත්‍රා දුපත අසළ සිදුවූ රිච්ටර් මාපකයේ 9.3ක අගයකින් යුතු භූ කම්පනයත් සමඟ හටගත් සුනාමිය ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තවත් රටවල් 10ක ජීවිත 2,27,898ක් බිලිගත් අතර, තවත් ජීවිත 43,789ක් අතුරුදන් කර තිබිණි. සුමත්‍රා දූපත අසලින් ආරම්භ වී ඊට කිලෝමීටර් 1,700ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාව දක්වාත්, කිලෝමීටර් 5000ක් පමණ දුරින් පිහිටි නැඟෙනහිර අප්‍රිකානු රටක් වන සෝමාලියාව දක්වාත් පැතිරී ගිය සුනාමිය 21 වැනි සියවසේ දරුණුතම ස්වභාවික අනතුර ලෙස සැලකේ.
ඉන්දීය සාගරයේ සිදුවූ එම සුනාමි ඛේදවාචකයේ විසිවැනි සැමරුම නිමිත්තෙන් ලොව ප්‍රමුඛතම සුනාමි විශේෂඥවරුගේ සහභාගීත්වයෙන් පසුගිය 6 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර සම්මන්ත්‍රණයක් පවත්වා ඇති අතර, නැවත එවැනි සුනාමි ව්‍යවසනයක් සිදුවීමේ අවදානම පවතින බවට එහිදී අදහස් පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2004 දෙසැම්බරයේ තත්ත්වය හා සමාන සුනාමියක් නැවත සිදුවීමට ඉඩ ඇති බවත්, එම කාලවකවානුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් සුනාමි විශේෂඥවරු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.