ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු විස්සයි20 ගැටුම හෙට-ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු ගැටුම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.45ට මවුන්ට් මවුන්ගනු බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන අතර, නවසීලන්ත විස්සයි20 පිලට මිචෙල් සැන්ට්නර් නායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකා පිල නවසීලන්තයේදී අවස්ථා 3කදී විස්සයි 20 තරගාවලිවලට එක්වූ අතර, ඒ සෑම තරගාවලියක්ම ශ්‍රී ලංකාව පරාජයවී ඇති බැවින් මෙම තරගාවලියේ ජය, එම ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.

ශ්‍රී ලංකා පිල අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරත වූ අතර, එහිදී තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙසත්, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර, විස්සයි20 තරග 25ක් පවත්වා ඇති අතර, එයින් 14ක් නවසීලන්තය ජයගෙන ශ්‍රී ලංකාව 8ක ජය වාර්තා කළේය. ලකුණු සමවී තරග 2ක් හා විසඳුමකින් තොරව එක් තරගයක් නිමා වූවේය.

ශ්‍රී ලංකා පිල නවසීලන්තයට පිටත්ව යෑමට පෙර නිමාවූ ටී10 තරගාවලියේදී දස්කම් දැක්වූ පිතිකරුවන් කිහිපදෙනකුම මෙම සංචාරයට එක්ව සිටීම විශේෂ වාසියකි. ජැෆ්නා ටයිටෑන්ස් පිලට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තරග 6කදී ලකුණු 214ක් ලබා 230.1 දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන සිටින අතර, චරිත් අසලංක තරග 7කදී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය.

දැනට ක්‍රිකට් පිටියේ සිටින කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස් යන දෙදෙනාම නවසීලන්තයට එරෙහිව විස්සයි20 පිටි‍යේදී පිළිවෙළින් ලකුණු 268ක් හා 236ක් ලබා ඉදිරියෙන් සිටීම මේ දෙදෙනාටම මානසික අස්වැසිල්ලකි.

නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස් පමණක් ශ්‍රී ලංකාවට එරෙහි තරග 3කදී ලකුණු 121ක් ලබා සිටින අතර, වත්මන් නවසීලන්ත පිටියේ සිටින අනෙක් කිසිදු පිතිකරු‍වකු ලකුණු 100 සීමාවට පැමිණ නැත. එසේ වුවද නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් සංචිතයට අයිපීඑල් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.3කට) මිලදී ගත් මුම්බායි ඉන්දියන්ස් ප්‍රහාරාත්මක පිතිකරු බෙවන් ජාකොබ් ඇතුළත්ව සිටීමෙන් වැඩි අවධානයක් යොමුව ඇත. තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට එක්ව නොමැති 22 හැවිරිදි බෙවන් ජාකොබ් ශ්‍රී ලංකාවට එරෙහි පෙරහුරු තරගයේදී, නවසීලන්ත පිල වෙනුවෙන් පන්දු 16කදී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 39ක් රැස් කළේය.

පළපුරුදු කේන් විලියම්සන් සහ ඩෙවොන් කොන්වේ දෙදෙනාටම තරගාවලිය අහිමි වී ඇති හෙයින් සකාරි ෆෝක්ස්, කඩුලු රකින්නා වන මිචෙල් හේ සහ ටිම් රොබින්සන් යන තිදෙනාටම නැවත වරක් නවසීලන්ත විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර වී තිබේ.

හෙට තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා තෙවැනි විස්සයි20 තරග මේ මස 30 වැනිදා හා ජනවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.