ව්‍යසනයකට යළි මුහුණ දීමේදී සුනාමියෙන් උගත් පාඩම් වැදගත්-ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර

සුනාමි රළ පහරින් මෙරටට සිදු වූ විනාශය වසර 20ක් ගත වීද අමතක කළ නොහැකි බවත්, ඒ මඟින් උගත් පාඩම් ඇසුරෙන් නැවත එවැනි ව්‍යසන අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(26) ජාතික සුරක්ෂිත දින සැමරුමට සහභාගි වෙමිනි.

මේ ජාතික සුරක්ෂිත දිනය ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (26) පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 7, විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ උත්සවයේදී පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාළිකාවේ සභාපති, බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් සිදු කළ අතර, වැල්ලවත්ත හින්දු කෝවිලෙහි සපුනාන්ද කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කරන ලදි. රාජගිරිය සාන්ත ස්ටෙෆන් පල්ලියෙහි බ්‍රයන් ප්‍රනාන්දු පියතුමා විසින් කිතුනු ආගමික වතාවත්ද ජාවත්ත මුස්ලිම් පල්ලියෙහි ඉෆ්‍රාස් මවුුලවීතුමා විසින් ඉස්ලාම් ආගමිත වතාවත් සිදු කරන ලදි.

එමෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ පළපුරුදු විශේෂඥ දැනුමැති පුද්ගල කණ්ඩායම් උපයෝගි කරගනිමින් බ්ම් මට්ටම දක්වා ආපදාවට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳ මහජනතාව සවිඥානක පුද්ගල කණ්ඩායමක් බවට පත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරන ලදි.

එසේම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල තාක්ෂණයේ පවතින ඌනතාව මඟහැරගනිමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට නම් මනා වූ සම්බන්ධීකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවද ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය. ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට සමගාමිව ගෝලීය වශයෙන් ක්‍රියාත්මක අනෙකුත් අනුපූරක රාමු හා ප්‍රතිපත්තිවලට අනුකූලව 2030 වර්ෂය වන විට සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත ආපදා කළමනාකරණ අරමුණු සඵල කරගැනීමෙහිලා සියලු කණ්ඩායම්වල ඒකාබද්ධතාවය සහ කැප වීම අත්‍යවශ්‍ය බවද නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

සුනාමි ප්‍රමුඛ අනෙකුත් ස්වාභාවික සහ මිනිසා විසින් නිර්මිත ආපදා කළමනාකරණය හා අවම කරගැනීම සදහා සියලු ආකාරයේ පාර්ශ්වකාර ආයතනවල සහයෝගිතාවේ වැදගත්කම මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය.ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල‍් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහත්වරුන් ඇතුළු ආයතන නිලධාරීහු සර්ව ආගමික වැඩසටහනට සහභාගි වූහ.