රජයේ රෝහල් තුළ පසුගිය කාලයේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති විවිධ මතවාද සහ රට තුළ පවතින අස්ථාන බිය තුරන් කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරනු ලැබූ මෙම සාකච්ඡාවේදී ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා මෙසේද පැවසීය.
පසුගිය කාලය තුළ රජයේ රෝහල් තුළ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් විවිධ මතවාද පැවතියා. ඒවායේ ගැටලු තිබුණා. දුර්මත තිබුණා. ඇතැම් තොරතුරු විකෘති කර තිබුණා. ඇත්ත නොදැන පළවූ වාර්තාත් අපි දැක්කා. මේ සියල්ලම තෙරෙහි අපි අවධානය යොමු කළා. ඖෂධ තකසේරු කිරීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු වෙනවා. ඖෂධ ඉහළ තත්ත්ව පාලනයකට ලක්වන ක්ෂේත්‍රයක්. මේ ක්‍රියාවලි සම්බන්ධයෙන් අපේ අවධානය යොමුව තිබෙනවා. අපිට රටතුළ තිබෙන අස්ථාන බිය තුරන් කළ යුතු වෙනවා. 1956 සිට ලංකාවේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් තිබුණු තත්ත්වය අපි දන්නවා. 1971න් පසුව එය වෙනස් වුණා. රජයේ ඖෂධ ආනයනය, බෙදාහැරීම සහ නියාමන ක්‍රියාවලිය ස්ථිර මාවතකට පැමිණෙන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇති කිරීම සහ අනෙකුත් ආයතන ශක්තිමත් කිරීම නිසයි.
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිලදීගෙන ආණ්ඩුව සඳහා ලබා දෙනවා. ඔසුසල් මාර්ගයෙන් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ලබාදෙනවා. ඒ අරමුණ ඉටුකර ගන්න මේ ක්‍රියාවලිය සිදු වෙනවා. එය ලෙහෙසි ක්‍රියාවක් නොවෙයි. ලංකාවේ 2200 ට වැඩි ආයතන තිබෙනවා ඖෂධ ගෙන්වන තැන්. ඒ සියලුම තැන්වලින් වසරකට වරක් තක්සේරුවක් ගන්නවා කුමන ඖෂධ වැඩිපුර අවශ්‍ය වන්නේ ද යන්න සම්බන්ධයෙන්. ඒවායේ සියලු තොරතුරු කොළඹ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙනවා. එයින් පසුව මාස දෙකක් ඇතුළත වෛද්‍ය සැපයුම් අංශයෙන් ලංකාවට අවශ්‍ය ඖෂධ සම්පිණ්ඩනය කරනවා. ඒ ඖෂධ ලැයිස්තු රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ඇණවුම් වශයෙන් ලබා දෙනවා. ඒ ලැයිස්තු දුන් පසුව දීර්ඝ ක්‍රියාවලියක් යටතේ කටයුතු සිදු වෙනවා. එයින් පසුව ඖෂධ ආනයනය කරනවා.
මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. වසර එකහමාරකට දෙකකට පෙර ඖෂධ ආනයනය සිදුකරනවා. ඖෂධ 862ක් ලැයිස්තුගත වෙනවා. එයින් 620ක් ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් වෙනවා. විද්‍යාගාරවල අවශ්‍යතා අනුව 12404ක් අයිතම තිබෙනවා. මේක විශාල කාර්යයක්. තත්ත්ව පාලනයක් යටතේ එය සිදුවෙනවා. මේ වෙනුවෙන් විශේෂිත දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ සියල්ල අවසානයේ ලංසු තැබීම සඳහා ආරාධනා කරනවා. දින 42ක් පමණ යනවා ලංසුවක් විවෘත කරන්න. ඒ වෙනුවෙන් ලොකු කාලයක් යනවා. ඒ අනුව තාක්ෂණික කමිටුව අවශ්‍ය ලංසුව තීරණය කරනවා. එය ටෙන්ඩර් මණ්ඩලයට ලැබෙනවා. එයින් පසුව තීරණය කළ පසුව දින 180ක් පමණ යනවා ඒ ඖෂධ ලබාගන්න. මෙවැනි ඖෂධවල කල් ඉකුත්වීමේ දිනයක් තිබෙනවා. ඒවා නිෂ්පාදනය කරන්න යම්කිසි කාලයක් ගතවෙනවා.
ලංකාවේ ඖෂධ සඳහා ලියාපදිංචි වූ සැපයුම්කරුවන් නැහැ. බාල බෙහෙත් කියලා ලෝකයේ කොහෙවත් නැහැ. ඒක සම්පූර්ණ මිථ්‍යාවක්. ඒක මේ රටේ ඉතාම බරපතළ ලෙස සමාජගත කර තිබෙනවා. ඖෂධ කර්මාන්තය කියන්නේ ගුවන් යානා කර්මාන්තයට දෙවැනි වන තත්ත්ව පාලන සහතික තිබෙන ආයතනයක්. ඉතා ඉහළ මිල ගණන්වලට තමයි ලංසු එන්නේ.