දෙසැම්බර් මස 26 වැනිදා හෙවත් බොක්සිං දිනය ලෙස හැඳින්වෙන අද (26) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය කාර්යබහුල වී ඇත්තේ ටෙස්ට් තරග තුනක් ආරම්භ වන බැවිනි.
ඔස්ට්‍රේලියාව – ඉන්දියාව, දකුණු අප්‍රිකාව – පාකිස්තානය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය අතර එම තරග පැවැත්වේ.
මේ තරග තුනෙන් සිම්බාබ්වේ – ඇෆ්ගන් තරගය හැර සෙසු තරග දෙක අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අතර, එම තරග දෙකට එක්වන කණ්ඩායම් 4ට මෙන්ම ශ්‍රී ලංකාවට ද මේ තරග දෙක වැදගත් වී තිබේ. ඒ අයිසීසී ලෝක ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 4ක් සටනක නිරතව සිටීම හේතුවෙනි. දකුණු අප්‍රිකාව (63.33%) ලෝක ශූරතාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, ඔස්ට්‍රේලියාව (58.89%) සහ ඉන්දියාව (55.89) දෙවැනි සහ තෙවැනි තැන්වල සිටින අතර, නවසීලන්තය (48.21) සිවුවැනි තැනත් ශ්‍රී ලංකාව (45.45) 5 වැනි තැනත් සිටී. කෙසේ වෙතත් නවසීලන්තය මේ වන විට ශූරතාවලියෙන් ඉවතට විසි වී තිබේ.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ සිවුවැනි තරගය අද ආරම්භ වන්නේ මෙල්බර්න්හිදීය. මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර, තරගයක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.
අනෙක් තරගය සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ අද (26) ආරම්භ වන්නේ සෙන්චූරියන්හිදීය.
සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ අද බුලවායෝහිදීය. මෙහිදී සිම්බාබ්වේ පිල බොක්සිං දින ටෙස්ට් තරගයකට එක් වන්නේ වසර 28කට පසුව වීමද විශේෂත්වයකි.