තැපෑල නවීකරණයට කැපවෙනවා

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම, සිය දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැඟීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා ‌මෙම අදහස් ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැලසුම් නිරීක්ෂණයට ලක් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී තැපැල් සේවයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් හමුවෙමින් ඔවුන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමටත් පසුගියදා එක්වෙමිනි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව දැනට සිදු කරනු ලබන සේවාවන්, ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකා තැපෑල මුහුණ දෙන වර්තමාන අභියෝග, ගැටලු සහ සැලසුම් පිළිබඳවත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ග පිළිබඳවත් ඇමැතිවරයා මෙහිදී සොයා බැලීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම්සහගතව කටයුතු කරන බව පෙනී යනවා. ආණ්ඩුවේ අරමුණ, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් මෙම ‌ ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වා‌ගෙන යාමය. විශේෂයෙන්ම දේශපාලන හෝ පුද්ගල වුවමනා මත නව තැපැල් කාර්යාල ස්ථාපිත ‌කිරීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් අවම වශයෙන් ඉදිරි වසර 10ක කාලපරිච්ඡේදයකට කළ යුතුයි. එහිදී නිසි අවබෝධයෙන් යුතුව දෙපාර්තමේන්තුවටම අදාළ වූ සැලසුමකට ක්‍රියාත්මක වෙන්න ඕන. බවත් සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරමින් වඩා ලාභදායී ආයතනයක් ලෙස ගොඩනැඟීමට එම සැලසුම් සකස් කළ යුතුයි.

විදෙස් ආධාරයන් ලබාගැනීම ද අරමුණු කරගනිමින් සැලසුම්සහගත ව්‍යාපෘති යෝජනාවක් සැකසීම වැදගත්. දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග, පෞද්ගලික ආයතන සමඟ තරග කළ හැකි ලෙස දියුණු කරගත යුතුයි. ආදායම් උත්පාදනය කළ හැකි තවත් ක්ෂේත්‍ර ගණනාවක් දෙපාර්තමේන්තුව සතු වෙනවා. සමහර ක්ෂේත්‍ර මඟහැරී ඇති. සමහර ක්ෂේත්‍ර සඳහා යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් වන්නේ නැහැ. සේවාවන් ඩිජිටල්කරණය සඳහා අවතීර්ණ වීම වැදගත්. දෙපාර්තමේන්තුව ජනතාව අතර ජනප්‍රිය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මෙරට තැපැල් සේවාවේ කටයුතු අධීක්ෂණයට පියවර ගැනීම සහ වෘත්තීය සමිති ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳ ව ද තැපැල් මූල්ස්ථානයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමැතිවරයාට සිය ස්තූතිය පුද කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඇමැතිවරයා හමු වූ වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රධාන වෘත්තීය ගැටලු කිහිපයක් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, නියෝජ්‍ය තැපැල්පති (පාලන) ජී.සී.අයි. ද සිල්වා, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.