ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX – 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, දෙසැම්බර් 16 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගණයේදී සහ නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එම අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව පෙරේදා (24) දිවයිනට සේන්දු විය.
දෙරටේ නාවික හමුදා අතර සහයෝගිත්වය හා අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා – ඉන්දීය නාවික අභ්‍යාසය සඳහා මෙවර ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවද, ඉන්දීය පාර්ශ්වය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් INS Sumitra නෞකාව සමඟ Chetak වර්ගයේ ගුවන් ආවේක්ෂණ හෙලිකොප්ටර් (Sea King Helicopter) යානාවක්ද සහභාගි විය.
ඒ අනුව, මෙම ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ වරාය අදියර දෙසැම්බර් 16 සහ 18 යන දෙදිනදී ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගණයේ දී පැවැත්විණි. එහිදී නාවික ශිල්පීය දැනුම හා ක්රමෝපායයන් හුවමාරු කරගැනීමේ අභ්‍යාස මෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කරගැනීම සඳහා සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සයුර නෞකාවේ නැව්මුළුව සහහභාගි වූහ.
දෙසැම්බර් 19 සහ 20 දෙදිනදී නැඟෙනහිර ඉන්දීය බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු තීරයේදී අභ්‍යාසයේ මුහුදු අධියර පැවැත්වූ අතර, එහිදී වෙඩි තැබීමේ අභභාස (GUNEX), නෞකා පෙළ හැඩයන් පවත්වා ගනිමින් ගමන් කිරීම (Manoeuvres), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (RAS Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිෂ්ට වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX) සහ ගුවන් යානා යොදාගනිමින් විශේෂ යාත්‍රා බළගණයට අයත් නාවිකයන් නෞකාව වෙත ගොඩබැස්සවීම (Slithering) වැනි නාවික අභ්‍යාස රැසක් සිදු කෙරිණි.
මේ ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික අභ්‍යාසය මඟින් දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩිදියුණු කරගැනීමටත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමටත් මහගු අවස්ථාවක් උදා වූ අතර, එමඟින් ඉදිරියේදී කලාපීය පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත.