අමාත්‍ය මණ්ඩල තීරණ

2024 දෙසැම්බර් 23 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.

ඉන්දීය-ශ්‍රී ලංකා රජයන් අතර අවබෝධතා ගිවිසුම් රාමුවක් අත්සන් කිරීමට අනුමැතිය

සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් රාමුවක් අත්සන් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ නියමයන් කිහිපයක් මැතිසබයට

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ වන නියමය, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි හා 5 වැනි වගන්ති යටතේ වන නියමය ඇතුළු නියම 5ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

UNITAR හා විදේශ-සංචාරක අමාත්‍යාංශ අතර වසර 3කට අවබෝධතා ගිවිසුමක්

පාර්ශ්වයන්ට ක්‍රියාකාරකම් වර්ධනය කර ක්‍රියාත්මක කළ හැකි සහයෝගිතා වැඩ රාමුවක් සැපයීමටත්, පවතින සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පහසුකම් සැලසීමටත් හැකි වන පරිදි එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර වසර 3ක කාලයක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීම

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අපද්‍රව්‍ය කළමනාකරණයට පළාත් පාලන ආයතනවල වගකීම පිළිබඳ ව්‍යාපෘතිය

පළාත් පාලන බල ප්‍රදේශ පදනම් කරගනිමින් Clean Sri Lanka වැඩසටහනට අනුගතව, තිරසර නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා ප්‍රජා සහභාගිත්වය මෙන්ම ප්‍රජා දැනුම්වත්භාවයේ ඇති වැදගත්කම හඳුනාගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා සියලු පුරවැසියන්ට හා පළාත් පාලන ආයතනවලට ඇති වගකීම හා බැඳීම තහවුරු කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පමාවකින් තොරව බහලුම් නිදහස් කිරීමට ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ කමිටුව

කොළඹ වරායේ බහලුම් නිදහස් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම වෙනුවෙන් යෝග්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රාදේශීය සභාවලට ආදායම් ඉපැයුම් ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන ප්‍රදාන පිරිනැමීම

2025-2027 වර්ෂ සඳහා තෝරාගත් ප්‍රාදේශීය සභාවලට ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ප්‍රාග්ධන ප්‍රදාන පිරිනැමීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිසත්, ඒ යටතේ 2025 වර්ෂයේදී එක් පළාතකින් ප්‍රාදේශීය සභා 6 බැගින් ප්‍රාදේශීය සභා 54ක් හඳුනාගෙන, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාග්ධන ප්‍රදාන පිරිනැමීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මර්බන් බොර තෙල් සැපයුම Aditya Birla Global Trading සමාගමට

2025.04.01 දින සිට 2025.08.31 දින දක්වා කාලයේ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 6ක් මිල දී ගැනීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 6ක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/S Aditya Birla Global Trading (Singapore) Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අවිධිමත් ධීවර මෙහෙයුම් මැඬීමට ව්‍යවස්ථාදායක රාමුව සවිමත් කිරීම

මෙරට දේශීය ජල තීරය සහ මහ මුහුදේ නීති විරෝධි, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර මෙහෙයුම් සම්බන්ධ ගැටලු පිළිබඳ ව්‍යාවස්ථාදායක රාමුව ශක්තිමත් කිරීමට සකස් කර ඇති මූලික කෙටුම්පත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.