වෙළෙඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදලේ පාලක සභාවේ උප සභාපති තනතුරට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබේ.
පාලක මණ්ඩලයේ 36 වැනි වාර්ෂික රැස්වීමේදී 2024 සහ 2025 වසර සඳහා වෙළෙඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදලේ පාලක සභාවේ උප සභාපතිනිය ලෙස නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි රේඛා ගුණසේකර මහත්මිය තේරී පත්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. වාර්ෂික රැස්වීමේදී තානාපතිනිය වෙළෙඳ භාණ්ඩ මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා වෙළෙඳ ද්‍රව්‍ය සඳහා වන පොදු අරමුදල (CFC) විසින් ගන්නා ලද උත්සාහයන් ඇගයීමට ලක්කර තිබේ.
දරිද්‍රතාව, දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත් වැනි ගෝලීය අභියෝග අවම කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේදී වෙළෙඳ භාණ්ඩ සඳහා පොදු අරමුදලේ තීරණාත්මක කාර්යභාරය ඇය අවධාරණය කර ඇත. විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා එම අරමුදල සමඟ සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද තානාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ජාතික ප්‍රකාශයට අමතරව භාණ්ඩ සඳහා වන පොදු අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය කණ්ඩායම නියෝජනය කරමින් උප සභාපතිනිය ලෙස තානාපතිනි රේඛා ගුණසේකර මහත්මිය කලාපීය ප්‍රකාශය ද ඉදිරිපත් ඇත.
භාණ්ඩ සඳහා වන පොදු අරමුදල (CFC) ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 101කින් සමන්විත වන අතර, එය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි පිහිටා ඇත. එය එක්සත් ජාතීන්ගේ රාමුව තුළ පිහිටුවා ඇති ස්වාධීන අන්තර් රාජ්‍ය මූල්‍ය ආයතනයකි.