2023 වසරේ ප්‍රභූ ආරක්ෂක වියදම කෝටි 583යි – කෝටි 149ක වැඩිවීමක්

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත්ව තිබියදී පවා මැති ඇමැතිවරුන් නොවන පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් 2023 වසරේදී පෙර වසරවලට වඩා රුපියල් මිලියන 1491ක් වැඩිපුර වැය කිරීමට ශ්‍රී ලංකා පොලීසියට සිදුව ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි. 2018 වසරේ සිට 2022 දක්වා කාල පරිච්ඡේදය තුළ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය විසින් ප්‍රභූ ආරක්ෂක වියදම ලෙස වාර්ෂිකව රුපියල් මිලියන 4342ක සාමාන්‍ය වියදමක් දැරුවද ගිය 2023දී එය රුපියල් මිලියන 5833 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන දත්ත අනාවරණය කරයි. ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළව පොලිස්පතිගේ 2020 සැප්තැම්බර් 30 දිනැති 2687/2020 දරන චක්‍රලේඛයට පටහැණිව එම ආරක්ෂාව ලබා දී තිබී ඇති බව ද පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ආරක්ෂාව සැලසෙන්නේ ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය. ඒ හැරුණු කොට සුවිශේෂි පුද්ගලයන්ටද ආරක්ෂාව සැලසෙන අතර ඊට ජනපති, අගමැති සහ හිටපු ජනපතිවරු ඇතුළත් වන්නේ නැත.

2023 වසරේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ වියදම් වැඩිවීමට මුල් වී ඇත්තේ පැරදුණු මන්ත්‍රීවරුන්ට මෙන්ම විවිධ දේශපාලනඥයන්ගේ ඥාතීන්ටත්, හිතවතුන්ටත් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම නිසාය.

එසේම ඇතැම් දේශපාලනඥයන්ට අනුමත ආරක්ෂකයන්ට වඩා වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම පෙර ගමන් වාහනද ලබාදෙමින් විශේෂ සැලකිලි දක්වා ඇති බව ද පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ සීමාවෙන් ඔබ්බට ගොස් මෙසේ විවිධ පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ එකල පැවැති ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව මඟින් බව ද පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

2022 වසරේ ජනවාරි 01 වෙනි දින වන විට ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සිටි නිලධාරීන් ගණන 3884ක් වූ අතර එම ප්‍රමාණය 2023 සැප්තැම්බර් වන විට 4859 දක්වා වැඩිකිරීමට සිදුව ඇත. ඒ ප්‍රභූවරු නොවන පිරිසකට ආරක්ෂාව ලබාදීමට සිදුවීම හේතුවෙන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.