තායිවාන ජනාධිපති ලායි චිං ටේගේ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ කේඑම්ටී සහ තායිවාන ජාතිකවාදී පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අතර පනතක් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවේදී ගුටිබැට හුවමාරුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුටිබැට හුවමාරුව සිදුවූයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගැනීමට උත්සාහ කළ බව කියන පනත් තුනකට එරෙහිව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අධිකරණ තීන්දුවක් නිකුත් කිරීමට අවම වශයෙන් විනිසුරුවරුන් 10 දෙනකු සිටිය යුතු බවට සහ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට එරෙහි පෙත්සම් විභාග කිරීමේදී තිබිය යුතු අවශ්‍යතා සම්බන්ධව තවත් පනතකුත් ඊට පෙර දිනයේදී සම්මත කරගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත්වී ඇතැයි ද, එදින මධ්‍ය රාත්‍රියේ පාර්ලිමේන්තුව පැමිණ ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක ආසනය අත්පත් කරගනිමින් පසුදින විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තුන්වැනි පනත සම්මත කරගැනීමට සභා ගර්භයට පිවිසීම වැළැක්වීමෙන් ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙහිදී දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු කිහිපදෙනකු තුවාල ලැබූ බව තායිවාන මාධ්‍ය වාර්තා කළේය.
විපක්ෂය විසින් සම්මත කරගැනීමට උත්සාහ දරන පනත් මගින් එරට අධිකරණ පද්ධතිය දුර්වල වන බවටත්, තායිවානයේ ප්රජාතන්ත්රවාදයට හානිදායක බවටත් චෝදනා කරමින් ජනාධිපතිවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සභා ගර්භයට පිවිසිය නොහැකි අයුරින් දොරටු අවහිර කර තිබූ බව ද වාර්තා වේ. මෙහිදී මන්ත්‍රීවරියන් ද ගැටුමට මැදිහත්වී ඇතැයිද, ජල බෝතල්වලින් එකිනෙකාට පහරදෙමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ විශාල ගාලගෝට්ටියක් ඇති කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අතර පාර්ලිමේන්තුවෙන් පිටත ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ ආධාරකරුවෝ විශාල පිරිසක් එක්ව විපක්ෂයේ පනත්වලට එරෙහිව දැවැන්ත විරෝධතාවක නිරත වූ බව ද වාර්තා වේ. තායිවාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුව සුලබ සිදුවීමක් වන අතර, මීට පෙර පසුගිය මැයි මාසයේදී ද එවැනිම සිදුවීමක් වාර්තා විය.