කෝටි 4කට අයිපීඑල් යන ඒෂාන් මාලිංග එක්දින සංචිතයට-විස්සයි20න් හැලුණු වෙල්ලාලගේත් එක්වෙයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නැති වේග පන්දු යවන නවක ක්‍රීඩක 23 හැවිරිදි ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගැනීමටත් පෙර ජාත්‍යන්තර අවධානය දිනාගත් ඒෂාන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ පාර්ල් රෝයල්ස් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩකයකු ලෙස පසුගියදා ගිවිසුම්ගත විය. ඔහු අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.17කට පමණ (ඉන්දීය රුපියල් කෝටි 1.2කට) මිල දී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කටයුතු කළේය.

‘ඒ’ කාණ්ඩයේ තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 20ක් දවාගෙන ඇති ඒෂාන් අතරමඟ නැවතා දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පාකිස්තාන සංචාරයට එක්ව සිටි අතර, එහි පළමු එක්දින තරගයේදී කඩුලු 3ක් දවා ගත්තේය. නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 5කදී කඩුලු 6ක් බිඳ දැමීමට ද ඔහු සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ප්‍රකාශයට පත් කළ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට 17 දෙනකු ඇතුළත් වන අතර, නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියේ ස්ථානය අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේත් මේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

වේග පන්දු යවන ළහිරු කුමාර ද යළි සංචිතයට එක්ව ඇති අතර, නවසීලන්තයට එරෙහිව පසුගිය නොවැම්බර් මස පල්ලෙකැලේදී පැවති එක්දින තරගාවලියේ අවසන් තරගයට එක් වූ නුවනිඳු ප්‍රනාන්දු ද මේ සංචිතයට කැඳවා තිබේ. ඒෂාන් සහ නුවනිඳු නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවති අවසන් තරගයේ සංචිතයට පමණක් ඇතුළත්ව සිටි අතර, ළහිරු කුමාර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය මාර්තු මස බංග්ලාදේශයට එරෙහිවය. එමෙන්ම ආබාධයක් හේතුවෙන් නවසීලන්තයට එරෙහිව මෙරටදී පැවති එක්දින තරගාවලිය අහිමි වූ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද මේ සංචිතයට ඇතුළත් කර ඇත. මේ ක්‍රීඩකයන්ගේ එක්වීමත් සමඟ අවසන් වරට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරගාවලිය වූ නවසීලන්තයට එරෙහිව මෙරටදී පැවති තරගාවලියට එක් වූ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, ඩිල්ෂාන් මදුෂංක සහ වනිඳු වෙනුවට එක්වූ දුෂාන් හේමන්තට ස්ථාන අහිමි වී තිබේ.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 5, 8 සහ 11 දිනවලදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස්, ඒෂාන් මාලිංග.