මෝල් හිමියන් ඉදිරියේ මේ ආණ්ඩුව පරාජයට පත්ව ඇති බවත්, ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම අමානුෂික ක්‍රියාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව පැවැසුවේ ‘දිනමිණ’ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
“ජනතාව බලාපොරොත්තු වූ දෙය වත්මන් ආණ්ඩුවෙන් සිදු නොවන බව දැන් හොඳටම පැහැදිලි වෙනවා. ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මඟින් උපයන විට ගෙවීමේ බද්ද ගෙවූ 121,000කට සහන දී, ස්ථිර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161කට බලපාන පරිදි රැඳවුම් බද්ද සියයට පහකින් ඉහළ දමා ඇස් බැන්දුමකින් රටම රවටා තිබෙනවා. රැඳවුම් බද්ද කියන්නෙ සාමාන්‍ය මධ්‍යම පන්තියේ සහ පහළම මට්ටමේ ආදායම් ලබන්නන් අමාරුවෙන් එකතු කර ගත් මුදලට ගහන බද්ද. එතැනින්ම පේනවා, මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නෑ කියලා.
ඡන්ද කාලෙදී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රුපියල් ලක්ෂ දෙකක් කරන බව කියූ අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එය රුපියල් 150,000ක් කරන බව නිවේදනය කළා. අදාළ බද්ද ගෙවන පුද්ගලයන් 121,000කට එමඟින් වාසි සැලසෙනවා. ඒ සමඟම රජය දැනට සියයට පහක් වන රැඳවුම් බද්ද සියයට දහය දක්වා වැඩි කර තිබෙනවා. මෙරට ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161ක් පවතිනවා. එයින් ගිණුම් ලක්ෂ 50ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. මේ සියලු ගිණුම් සඳහා ලැබෙන පොලිය සියයට පහක බදු වැඩිවීමට යටත් කොට තිබෙනවා. මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැන්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා ගන්නා ලක්ෂ 50කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම අමානුෂික ක්‍රියාවක්.
එවගේමයි මේ ආණ්ඩුව සහල් ආනයනය කිරීමට දිගින් දිගටම අවසර දෙනවා කියලා ප්‍රවෘත්තියක් මම දැක්කා. නමුත් ඒ අය කරපු දේ නොකියන, කරන දේ නොකියන ආණ්ඩුවක් බවට දැන් පත්වෙලා තියෙනවා. ඒ අය ඉස්සර කියූ දේ නෙමේ දැන් කියන්නෙ. ඉස්සර කිව්වේ ආණ්ඩු බලය ගත් ගමන් එක පෑන් පහරින් සියල්ල ඉවත් කරනවා කියලා. සහල් ගෙන්වීම, මෝල් හිමියන්ගේ ඇති මාෆියාව ආදී මාතෘකා ඒ දවස්වල කතා කළා. අද අපට පේනවා, තාම ඒ අයටවත් ඒ කිසි දෙයක් පෑන් පහරින් ඉවත් කරන්න බැරි වෙලා තියෙනවා කියලා. මේ මොහොතෙත් අපට කියන්න තියෙන්නෙ මෝල් හිමියන්ට මේ ආණ්ඩුව පරාජය වුණා කියලා. රජය කියූ විදියට නෙමේ මෝල් හිමියන් සහල් නිකුත් කරන්නෙ.
මේක අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේ රජයට ජනතාව ඡන්දය දුන්නෙ ඔය මැති ඇමැතිවරුන්ගේ නම්වලට ඉදිරියෙන් තියෙන පට්ටන්තරත් එක්ක තමයි. අධ්‍යාපන සුදුසුකම් ගැනත් ජනතාව හිතුවා. මේ පිරිස දිගටම ඒ දෙය පාවිච්චි කළා. ඒ ඡන්දය පක්ෂයට දෙන මිනිස්සුන්ගෙනුත් ලැබුණා. ඒ වගේම පුද්ගලයාගේ උගත්කම සහ අධ්‍යාපනය ගැන බලලත් ඡන්දයක් පාවිච්චි කළ පිරිසක් හිටියා. එහෙම නම් බොරු කළ සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි. මොකද ඒ අය තමන්ට නැති දෙයක් ඉදිරිපත් කර ඡන්දය ඉල්ලලා තියෙනවා. මෙයින් හිතාමතාම ජනතාව රැවටීමකට ලක් කර තිබෙනවා.
දැන් තමයි ඒ අය කියන්නෙ ආචාර්ය, මහාචාර්ය ආදී වශයෙන් නම් ඉදිරියෙන් දැමීම වැඩක් නෑ කියලා. හැබැයි ඒ අය දිගටම එම පට්ටන්තර නම ඉදිරියෙන් දාගෙන ඉදිරියට ආව පිරිසක්. මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මේ අය දිගින් දිගටම ජනතාව රවට්ටවා ගෙන ආ පිරිසක් කියන එක තමා පෙනෙන්න තියෙන්නෙ. ජනතාව ජීවත් වීමේ විශාල අරගලයක යෙදෙන මොහොතක මෙවැනි ප්‍රශ්න සමාජගත කරන්නේ සැබෑ ප්‍රශ්න යටපත් කරන්න. රටේ කොච්චර දෝ ප්‍රශ්න තියෙනවා ද. අද ඒ ඔක්කෝම ගැන කතා නොකර මේ ගැන කතා කරන්න දාලා තියෙනවා. එයින් මිනිසුන්ගේ මානසිකත්වය වෙනත් මඟකට යොමු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් ජනතාව බුද්ධිමත්.
අනෙක මේ දවස්වල කතා කරන තවත් මාතෘකාවක් තමා වන සතුන්ගෙන් වන වගා හානිය. මෙහිදී රිළා ප්‍රශ්නයට විසඳුමක් ලෙස නියමු ව්‍යාපෘතියක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. මම මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මීට පෙරත් ගිහින් තියෙනවා. එතැනදී යෝජනා වූ දෙයක් තමයි, රිළවුන්, මොනරුන්, දඬු ලේනන්, වන අලින් සහ ඌරන් වැනි සතුන්ගෙන් මේ රටේ ගොවි ජනතාවගේ වගාවන්ට කරන විනාශයෙන් ඔවුන් ඉතාමත් පීඩාවට පත් වෙලා තිබෙන බව. අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදීත් මේ ගැන කතා කළා. මේ ව්‍යාපෘතියේ අඩුපාඩුවක් මම දකිනවා. මම සම්බන්ධීකරණ කමිටුවෙත් මේ ගැන කතා කළා. දැන් මේ රිළවුන් අරන් ගිහින් වන්ධ්‍යාකරණයට ලක් කර නැවත ගෙනත් දාන්නෙ එම සතුන් මුලින් හිටිය තැනටමයි. වන්ධ්‍යාකරණයට ලක් කළා කියලා එම සතුන්ගේ කට වැහෙන්නේ නෑ. රිළවුන් වගා විනාශ කිරීම තමා ප්රශ්නය. එහෙම නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්න රිළවාගේ ආයු කාලය අවසන් වෙනකල් බලා ඉන්න වෙනවා.
එනිසා මේ රිළවුන් අල්ලා ගත් තැනටම ගෙනත් නොදා ආහාර තියෙන ගන කැලෑවලට ගිහින් දැම්මා නම් මේ ප්‍රශ්නයට තරම විසඳුමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. රිළවුන් ගම්වලට එන්නෙ කැලෑවල ආහාර නැති නිසා. උදාහරණයක් ගත්තොත් නකල්ස් කලාපයේම තියෙන්නෙ පයිනස් වගාව. පයිනස්වල රිළවුන්ට කන්න දෙයක් නෑ. එහෙම නම් මේ පයිනස් කැලෑ ක්‍රමානුකූලව ඉවත් කර සතුන්ට ආහාරයට ගත හැකි ශාක වන වගාවක් ලෙස රෝපණය කළ යුතුයි.
අපි පාර්ලිමේන්තුවේදී විපක්ෂය හැටියට හැම වෙලාවේම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා ජනතාවට නිරාකරණය කර ගන්න අවශ්‍ය දිශානතියට මේ ආණ්ඩුව තල්ලු කරන්න උත්සාහ කරනවා.”