වනඅලින්ට සීමා වූ වගා හානි වන්දි අනෙක් සතුන්ගෙන් වන හානිවලටත් ගෙවීමට ක්‍රමයක් හදන්න-ඇමැති ලාල්කාන්තගෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස්

මෙතෙක් වනඅලින්ට පමණක් සීමාව තිබූ වන සතුන්ගෙන් වන වගා හානිය සඳහා වන්දි ගෙවීමේ ක්‍රමය භෝග වගාවලට හානි කරන අනෙකුත් සතුන්ගේ වගා හානි සඳහාත් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඇමැතිවරයා පසුගියදා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා එහි ගිය අවස්ථාවේදී එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ උපදෙස් දෙන ලදි. මේ අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ද සහභාගි විය.

එහිදී ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය, භෝග රක්ෂණ ක්‍රමය, ධීවර රක්ෂණ ක්‍රමය, වන සත්ත්ව හානි රක්ෂණය ආදී කටයුතු පිළිබඳව ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා නිලධාරින්ගෙන් විමසන ලදි. 2014න් පසුව ගොවීන් රක්ෂණය කිරීම සඳහා කටයුතු නොකිරීම පිළිබඳව ඇමැතිවරයා නිලධාරින්ගෙන් කරුණු විමසා සිටියේය.

එහිදී ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ ගොවි රක්ෂණ වැඩපිළිවෙළ යළිත් සක්‍රිය කරන ලෙසයි. වන සත්ත්ව හානිය පිළිබඳව හා ඊට අදාළ වන්දි ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ඇමැතිවරයා පෙන්වා දුන්නේ වන සතුන් සහ භෝගවලට හානි කරන සතුන් රජයේ වනාන්තර හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන අතර, එම වන සතුන්ගෙන් ගොවි ජනතාවගේ භෝග වගාවට වන හානියට වන්දි ගෙවීමේ වගකීම මෙන්ම එම සතුන්ගෙන් වන හානිය වැළැක්වීම රජය සතු කාර්යයක් බවයි.

ඒ අනුව වන සතුන්ගෙන් වන හානිය වැළැක්වීමට රජය විසින් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්, එවැනි අවස්ථාවලදී මෙතෙක් වන සත්ත්ව හානිය සඳහා වන්දි ගෙවීම වනඅලින්ට පමණක් සීමා වී පැවතිය ද, අනෙකුත් සතුන් නිසා භෝග වගාවලට වන හානි සඳහා භෝග රක්ෂණ ක්‍රමය හරහා වන්දි ගෙවීමේ ක්‍රමයක් සකසන ලෙසත් ඇමැතිවරයා දැනුම් දුන්නේය. එය රජයේ වගකීමක් ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට පවරන බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.